ද්විත්ව පුරවැසිලාභි රාජ්‍යතාන්ත්‍රිකයින් සොයයි



ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් හා විදේශ රටවල සිටින මෙරට රාජ්‍ය ත්‍රාන්තිකයින්ගෙන් යම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිත නම් ඒ බව දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ට දන්වා යවා තිබේ.

විදේශ අමාත්‍යංශයේ සහ විදේශ රටවල දූත මෙහෙවරේ යෙදී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ද්විත්ව පුරවැසිභාවය ඇති අය ඇත්දැයි සෙවීම සඳහා සන්ඩේ ටයිම්ස් පුවත් පත කළ විමසීමකට පසු චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම අමාත්‍යංශයේ විදේශ දූත මණ්ඩල පාලන අංශය සතුව අදාළ විස්තර නොමැති බව එහිදී අනාවරණය විය.

“දූත මෙහෙවරේ යෙදී සිටින දූත කණ්ඩායම්වල ද්විත්ව පුරවැසිභාවය සහිත ප්‍රධානීන්/තනතුරු ඇතුළු නිලධාරීන් ගැන තොරතුරු විමසීමට අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි“ යැයි දන්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය දූත කණ්ඩායම්වල ප්‍රධානීන්ට හා එහි තනතුරුවලට චක්‍රලේඛයක් යවා තිබේ.

මෙම ගැටළුව උද්ගත වූයේ ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දූ කිරීමෙන් අනතුරුවය.මෙම තීන්දුවට එරෙහි අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතියි.

තම රටේ පුරවැසියකු තවත් රටක තානාපතිවරයකු ලෙස හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සේවය කිරීමට සමහර රටවල් විරෝධය දක්වයි. උදාහරණයක් ලෙස ඇමෙරිකානු ජාතිකයින්ට විදේශ රටක තානාපතිවරයකු ලෙස හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සේවය කිරීමට නිදහස ලබා දීම පිළිබඳ නීතිමය ගැටළු පැන නැගී තිබේ.

“ප්‍රතිපත්තියක් ලෙසින් විදේශ රටක සිටින රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් යවන රටේ ජාතිකයකු විය යුතුයි“යැයි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් වන වියානා සම්මුතියේ සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS