තානාපති කාර්යාලය වසයි



එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  සේවකයින් 05 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් යළි  දැනුම් දෙන තුරු එම තානාපති කාර්යාලය  තාවකාලිකව වසා දැමූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

එම තානාපති කාර්යාල වෙත දිනපතා ශ්‍රී ලාංකිකයින් විවිධ සේවා කටයුතු සදහා පැමිණෙන හෙයින් ආරක්ෂිත  පියවරක් ලෙස තානාපති කාර්යාලය 21 සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පැවසුවාය .

අදාළ සේවකයින් මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන් තත්ත්වය බරපතල නොවන බව එම අමාත්‍යාංශය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේද නිවේදනයක්. නිකුත් කර ඇත.

හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු  වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ එරට වෙසෙන යම් කිසි ලාංකිකයෙකුට හෝ අවශ්‍ය කෙනෙකුට [email protected] යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS