ක්‍රීඞ් 2 එනවා



අතිශය ජනප්‍රිය, සිල්වෙස්ටර් ස්ටැලෝන් බොක්සිං ශූර රොකී බෙල්බෝවාගේ චරිතයට පණ පොවන ‘රොකී’ චිත්‍රපට මාලාවේ දිගුවක් ලෙස ඇරැඹි ‘ක්‍රීඞ්’ චිත්‍රපටයේ දෙවැන්න හොලිවුඩයට එක් වන නවමත චිත්‍රපටයයි.

ක්‍රීඞ් යනු රොකී සමඟ බොක්සිං වළල්ලේ තරග වැදුණු ඇපලෝ ක්‍රීඞ්ගේ පුතා අදෝනිස් ක්‍රීඞ්ගේ කතාවය. අදෝනිස් පුහුණු කරනු ලබන්නේ රොකී (සිල්වෙස්ටර් ස්ටැලෝන්) විසිනි.

‘ක්‍රීඞ් 2’ චිත්‍රපටයට පාදක වන්නේ අදෝනිස් ක්‍රීඞ් සහ ඔහුට අභියෝග කරන රුසියානු බොක්සිං ශූර වික්ටෝර් ඩ්‍රේගෝය. වික්ටර් ඩ්‍රේගෝ යනු අසහාය බොක්සිං ශූර අයිවාන් ඩ්‍රේගෝගේ පුත්‍රයාය.

රොකී චිත්‍රපට මාලාවේ ඇපලෝ ක්‍රීඩා පරාජයට පත්වන්නේත් අවසානයේ දී, රොකී අසල මැරී වැටෙන්නේත් අයිවාන් ඩ්‍රේගෝ සමඟ තරග කර අවසන් වෙද්දීය.

එහෙයින් තම පියා වෙනුවෙන් වික්ටෝර් ඩ්‍රේගෝගේ අභියෝගය බාර ගැනීමට අදෝනිස් ක්‍රීඞ් ට සිදුවෙයි. වික්ටර් ඩ්‍රේගෝගේ පුහුණුකරු වන්නේ ඔහුගේ පියා අයිවාන් වන අතර, යළිත් වරක් අදෝනිස් පුහුණු කරමින් ඔහුට ගුරුහරුකම් කියා දෙන්න පැමිණෙන්නේ රොකී බෙල්බෝවාය.

මෙය ස්ටීවන් චැපල් ජූනියර්ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රීඞ්ගේ චරිතය සුපුරුදු පරිදි මයිකල් බී ජෝර්ඩන් විසින් රඟ දක්වනු ඇත. අයිවාන් ඩ්‍රේකෝ ලෙස රැල්ෆ් ලොන්ඞ්රින් යළි රිදී තිරයට එක් වී සිටී. තෙසා තොම්ප්සන්, ෆිසිලා රෂාද්, ෆ්ලොරියන් මුන්ටේනෝ ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති.

 


RECOMMEND POSTS