ජෙඩා නුවරදීත් නිදහස සමරයි !



ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින සැමරුම් උත්සවයක් ඉකුත් 04 වන වැනිදි සෞදියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා  කොන්සල් කාර්යාලයේ දී පැවැත්විණි.

කොන්සියුලර් ටී. එෆ්. එම්. ආෂික් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් දින සැමරුමේදී  ජාතික ධජය එසවීම ඔහු විසින් සිදු කරන ලදී.එහිදී ජෙඩා හි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ සිසුන් විසින් ජාතික ගීය සහ ජයමංගල ගාථාව ගායනා කිරීමත් සමඟ උත්සවය ආරම්භ විය.

මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ අය සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව පොල් තෙල් පහන දැල්වීම ලංකාවේ සියලු ජන නියෝජනයන් වන පරිදි එහි වෙසෙන ලාංකිකයින් විසින් සිදු කරන ලදී.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටා ගැනීමක් සහ අග්‍රාමාත්‍යතුමාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිදහස් දින පණිවිඩ පිළිවෙලින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් කියවන ලදී.

රැස්ව සිටි ලාංකිකයින් අමතමින් කොන්සියුලර් ආෂික් මහතා ජනාධිපතිවරයාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. “ප්‍රතිපත්තිගරුක පුරවැසියෙකු, සන්තෝෂවත් පවුලක්, විනයගරුක සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක්. 21 වන සියවස ආර්ථික වශයෙන් ‘ආසියාවේ සියවස’ ලෙස හඳුනාගෙන ඇති බවත්, ආර්ථික සංවර්ධනයන් සාක්ෂාත් කර ගනිමින් අපගේ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සබඳතා සමතුලිත කිරීමට ශ්‍රී ලංකාව ප්‍රධාන සාධකයක් වනු ඇති බවත් එහිදී  ඔහු පැවසීය.

නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ සිසුන් විසින් ‘ජාතික වීරයන්’ පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. 72 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් පැවති තරඟවලට සහභාගී වූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ සිසුන්ට ත්‍යාග හා සහතික පිරිනමන ලදී.

මෙම උත්සවයට ශ්‍රී ලාංකිකයන් සහ සුභ පැතුම් විශාල පිරිසක් සහභාගී වූ අතර විවිධත්වය හා සංස්කෘතිය නියෝජනය කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වේලකින්  අමුත්තන්ට සංග්‍රහ කිරීමටද ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය අමතක නොකළේය.


RECOMMEND POSTS