බිග්ෆුට් සොයන්න එෆ්.බී.අයි. පරීක්ෂණයක්



එෆ්.බී.අයි. හෙවත් ‘ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන්ස්’ යනු ඇමෙරිකන් රජයේ අපරාධ විමර්ශන කාර්යංශයයි. පාස්කු දා ප‍්‍රහාරයෙන් පසු අපේ රටේ සිදු කළ පරීක්ෂණවලදී ද එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ සහාය ලැබුණි. ඇමෙරිකාව තුළ පමණක් නොවෙයි, ජාත්‍යන්තර මට්ටමින් ද එෆ්.බී.අයි. පරීක්ෂකයන් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිදුකරයි. ගුප්ත සත්වයකු ලෙස සැලෙකන ඇමෙරිකාවේ සහ කැනඩාවේ වනාන්තරවල ජීවත් වෙනවා යැයි පැවැසෙන බිග්ෆුට් ගැන ද එෆ්.බී.අයි. කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇත. මේ බව ලොවට අනාවරණය කළේ ‘ද සන්’ පුවත් වෙබ් අඩවියයි.

එදා එනම් 1976 වසරේදී, එවකට එෆ්.බී.අයි. කාර්යාංශ බිග්ෆුට් ගැන ඇත්ත නැත්ත සෙවීමට වෙනම ඒකකයක් පිහිටුවා තිබේ. එම ඒකකයේ ප‍්‍රධානියා පීටර් බ‍්‍රයින්ය. බිග්ෆුට් සෙවීමේ ඒකකයක් පිහිටුවීමට මඟ සකස් වී ඇත්තේ එෆ්.බී.අයි. රසායනාගාරයට ලැබුණු ලොම් සහ හිස කෙස් සාම්පලයකි. සිදුකළ පරීක්ෂණ රැසකින් පසු එෆ්.බී.අයි. රසායනවේදින් කියා සිටියේ, එම ලොම් සහ කෙස් අයත් සතා මොකෙක් වුවත්, එහෙම සතෙක් මහද්වීපයේ නැති බවය. ඒ අනුව, පීටර් බ‍්‍රයින්ගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවූ එම බිග්ෆුට් ඒකකයට, එෆ්.බී.අයි. සහාය පරීක්ෂක ජේ කොක්රන් ද සම්බන්ධ කරවා ගැණින. රසායනාගාර කටයුතු සම්බන්ධයෙන් සියල්ල සොයා බැලීම කළේ කොක්රන්ය. මේ සියල්ල දැන් මාධ්‍ය වෙත අනාවරණය වී ඇත්තේ එෆ්.බී.අයි. රහස් වාර්තා හරහාය. එක් අවස්ථාවක බිග්ෆුට්ගේ යැයි අනුමාන කරමින් පරීක්ෂා කෙරුණු ලොම් සාම්පලයක් වළසකුගේත් තවත් ලොම් සාම්පලයක් ගෝනකුගේ ද වූ බව කොක්රන් පසුව අනාවරණය කර ඇත. බිග්ෆුට් සම්බන්ධයෙන් රැස් කළ සාම්පල, ඡායාරූප ආදී සියලූ සාක්ෂි ඇතුළත් වාර්තා 22 ක් එෆ්.බී.අයි. කාර්යාංශය සතුව ඇතැයි පැවැසෙයි.

මේ සටහන කියවද්දී අතිශය ජනපි‍්‍රය එක්ස් ෆයිල්ස් රූපවාහිනී කතා මාලාව සිහියට නැගුනොත් එය අරුමයක් නොවෙයි. එක්ස් ෆයිල්ස් කතාමාලාවට පාදක වෙන්නේ අද්භූත ජීවීන්, අද්භූත සිදුවීම් පමණක් නොව පිටසක්වළයන් ගැන පවා සකස් කළ විසඳීමට අපොහොසත් වූ අබිරහස්ය. පීටර් බ‍්‍රයින් එක්ස් ෆයිල්ස් කතා මාලාවේ ෆොක්ස් මෝල්ඩර් වැනිය. පීටර් බ‍්‍රයින් බිග්ෆුට් සොයන්න උනන්දුවක් දක්වා ඇත්තේ ඔහුගේ පියා කී තතාවක් නිසාය. පීටර් බ‍්‍රයින් බි‍්‍රතාන්‍ය සම්භවයක් ඇති ඇමෙරිකානුවෙකි.

බ‍්‍රයින්ගේ පියා 1946 දී, බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ නියමුවකු ලෙස ඉන්දියාවේ බොම්බේ (අද මුම්බායි) ගුවන් කඳවුරක රැුඳී සිට ඇත. එහිදි ඔහුට හිමාලයේ හිම මිනිසා යෙටී ගැන අපූරු කතා අසන්න ලැබී තිබේ. බිග්ෆුට් සේම, යෙටී ද ගුප්ත වානර මානවයෙකු යැයි පැවැසෙයි. යෙටී ජීවත් වෙනවා යැයි පැවැසෙන්නේ හිමාල අඩවියේ සීතල කඳුකරයේය.

පීටර් බ‍්‍රයින්ගේ පියාට යෙටී සත්වයකුගේ යැයි සැක කෙරෙන හිස් කබලක කොටසක් දකින්න ලැබී ඇත. ඒ, 1958 දීය. එම අවස්ථාවේදී ගත් ඡුායාරූපයක් මෙම සටහනට ඇතුළත් වෙයි. එම ඡායාරූපය බ‍්‍රයින් සිය වෙබ් අඩවිය හරහා ප‍්‍රසිද්ධියට පත් කර තිබේ. අද වනවිට 93 හැවිරිදි වියෙහි පසුවන බ‍්‍රයින් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ගතවුණු වසර 50 ක කාලයේ හිමාල අඩවියෙන් ලබා ගත් යෙටීගේ යැයි අනුමාන කෙරෙන දැවැන්ත පා සටහන් තුනක් ගැන ද තමන්ට විස්තර ලැබී ඇති බවය. යෙටී ගැන කුඩා කළ සිට අසන්න ලැබුණු නිසා ඒ ගැන ඇති උන්නදුව වර්ධනය වූ බවත්, එය ඇමෙරිකාවේ බිග්ෆුට් ගැන සොයා බැලීමට හේතුවක් වුණු බවත් බ‍්‍රයින් පැහැදිලි කරයි.

බිග්ෆුට් පාදක කර ගනිමින්, නිරන්තරයෙන් චිත‍්‍රපට, කාටූන් සහ රූපවාහිනී කතාමාලා පවා නිර්මාණය වෙයි. හුදෙකලා වූ බිග්ෆුට් කෙනෙකු වටා ගෙතුනු එවැනි පරිගණක සජීවීකරණ චිත‍්‍රපටයක් වන්නේ කි‍්‍රස් බට්ලර් අධ්‍යක්ෂණය කළ ‘මිසින් ලින්ක්’ ය. ඇමෙරිකාවේ වෙසෙන ‘මිස්ටර් ලිනක්’ නමැති බිග්ෆුට්, නිර්භීත දේශගවේෂකයකු වන ලයනල් ෆ්රොස්ට් ද සමඟ හිමාල අඩවියේ ෂැංගි‍්‍රලා නිම්නයේ වෙසෙන යෙටීවරුන් සොයා යන වික‍්‍රමය ‘මිස්ටර් ලින්ක්’ චිත‍්‍රපටයේ කතාව වෙයි.

ජේන් ගුඩෝල් පි‍්‍රමේටාවන් (වඳුරන් සහ වානරයන්) ගැන හසල දැනුමක් ඇති විද්‍යාඥවරියක. චිම්පන්සීන් සහ ගෝරිල්ලන් ගැන ඇය අපට කියා දුන් දේ බොහොමයි. බිග්ෆුට් ගැන ජේන් ගුඩෝල් පවසා ඇත්තේ මෙවැන්නක්. ‘මට හොඳටම විශ්වාසයි. බිග්ෆුට් හැබෑවක්. මගේ විශ්වාසය බිග් ෆුට්’ කියන්නේ වානරයෙක්. ‘බිග්ෆුට්’ යන්නේ තේරුම ‘යෝධ පා ඇත්තා’ යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්වයෙකු බවයි පැවසෙන්නේ. බිග්ෆුට් ලොව පුරා ජනප‍්‍රිය වීමට හේතුව රූපවාහිනී වැඩසටහන්වලින් හා  ඕපාදූපවලට මුල්තැනක් දෙන ජනපි‍්‍රය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප‍්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ බිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්’ යැයි ගුඩෝල් පවසා ඇත.

ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකිිය. ඇය පෙන්වා දී ඇත්තේ, බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුතුයි කියාය. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් විද්‍යාඥයන් දෙදෙනෙකි. එයින් එක් අයකු ජෝජ් ෂාලර් ය. මොහු ඇමෙරිකන් වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා යි. අනෙක් තැනැත්තා, ලෝක පි‍්‍රමේටාවන් සුරැුකීමේ සංවිධානයේ ප‍්‍රධානී රසල් මිටමියර් ය. මොවුන් පවසන අන්දමට පසුගිය වසර 10 ක කාලයේ නව පි‍්‍රමේටාවන් විශේෂ 10 ක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත. එහෙයින්, බිග්ෆුට්ගේ අබිරහස ද විසඳා ගැනීමට හැකිවේවි යැයි මිටමියර් කියයි.

බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිථ්‍යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති නිසාය. යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි, සීලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා එම ජීවීන්ය.

ඇමෙරිකාවේ ජීවත් වන ස්වදේශීකයන් හෙවත් රතු ඉන්දියානුවන්ගේ භාෂා ව්‍යවහාරයේ ‘යෝධ වානරයා’ යන අරුත් දෙන වදනක් ඇති බව පැවැසෙයි. කෙසේ නමුත්, උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සීන් සහ ගෝරිල්ලන් නැත. කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්වයා වන්නේ වළසුන්ය. ඇමෙරිකාවේ වළස්සු වර්ග කිහිපයක්ම වාසය කරති.

ඇමෙරිකාවේ බටහිර ප‍්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවූ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත‍්‍රිකයන් ගල්වල කෙටූ චිත‍්‍ර හා රූප සටහන් හමුවී ඇත. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප‍්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවූ නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තිබේ. මේ රූප අතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කිරීමට සමත් වී ඇති බව පැවැසෙයි. එම රූපය දෙපයින් නැගී සිටින යෝධ වානරයකුගේය. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කරුණක් වී ඇත.

බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන්දු පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්වයෙකුගේ හෝ ඊට සමාන කිසිම සත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වූ සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වූ අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වූ ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවේ.

‘සන්’ ඇසුරින්


RECOMMEND POSTS