නවසීලන්ත අගමැති කැනඩා අගමැති බිරිය යැයි සිතලා



පසුගිය දා, වියට්නාමයේ පැවැති ‘ඇපෙක්’ සමුළුවේදී, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සෙසු රාජ්‍ය නායකයන්, ඔහුගේ බිරින්දෑවරුන් හමුවී කතාබහ කළේය.

එසේ හමුවුණු පිරිස අතර,නවසීලන්ත නව අගමැතිනිය ජැසින්ඩා ඇර්ඩර්න් ද සිටී. අභිනවයෙන් අගමැති ධුරයට පත් වුණු ජැසින්ඩා සහභාගී වුණු පළමු ජාත්‍යන්තර සමුළුව මෙය විය.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඇය හමුවී කතාබහ කළත්, ඇය කවුරුදැයි හරිහැටි දැන සිට නැති අතර, ට්‍රම්ප් සිතා ඇත්තේ ඇය කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිය සෝෆි ටෘඩෝ ලෙසිනි.

මේ බව අනාවරණය කර ඇත්තේ ද ජැසින්ඩා ය. ඇය ඇගේ සමීපතම මිතුරන් පිරිසකට රහසක් ලෙස මේ බව පවසා ඇති අතර, දැන් එය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

‘ඩොනල්ඞ් ට්‍රම්ප් ඇය කවුරුදැයි දැන සිට නැහැ. ඇය සමඟ කතා කර තිබෙන්නේ ඇය කැනඩා අගමැති බිරිය යැයි වරදවා වටහා ගනිමින්. ඇය නවසීලන්ත අගමැති බව ට්‍රම්ප්ට අවබෝධ වී ඇත්තේ පසුව’ යැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කර තිබේ.

37 හැවිරිදි වියෙහි පසුවන ජැසෙන්ඩා, නවසීලන්ත අගමැති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා ද වෙයි. ඇය නවසිලන්තයේ 40 වැනි අගමැති ද වන්නීය. ඇය අගමැති ධුරයට පත්වූයේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදාය.

ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදුවුණු සිදුවීම ප්‍රසිද්ධියට පත් වෙද්දී, ජැසෙන්ඩා දැඩි අපහසුතාවට පත් වූවාය. ඇය එම සිද්ධිය ඇගේ සමීපතමයන්ට පැවැසීම සම්බන්ධයෙන් පසුතැවෙන බව මාධ්‍ය හමුවේ කියා සිටි අතර, එම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් අපහසුතාවට පත්වූයේ නම් ඒ ගැන ද කනගාටු වන බව පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS