විදේශිකයන් සමඟ ‘සෙක්ස්’ එපා



පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන සමයේදී රුසියානු කතුන් පිට රටවලින් පැමිණෙන පිරිමින් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළැකිය යුතු යැයි රුසියාවේ පවුල්, කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධානී ටමාරා ප්ලෙට්නිඕවා පවසා ඇත.

එසේ කිරීමෙන් ඔවුන් පියවරුන් අහිමි මිශ්‍ර ජාතියකට උරුමකම් කියන දරුවන් ලද මවුවරුන් වීමේ වැඩි අවදානමක් ඇතැයි ද ඇය කියයි. එමෙන්ම විදේශිකයන් හා විවාහ වන රුසියානු කාන්තාවන්ගේ විවාහ සබඳතා අවසන් වන්නේ නරක අන්දමට බව ද ඇය කියයි. 

කාන්තාවන් රුසියාව තුළත් විදේශවලත් කිසිදු පිළිසරණක් නැතිව අසරණ වන බවත් ඔවුන්ට ඔවුන්ගේ දරුවන් නැවත ලබාගැනීමට නොහැකි වන බවත් ඇය පවසයි.

වසර 1980 මොස්කව් හි පැවැති ඔලිම්පික් උලළෙන් පසු “ඔලිම්පික් දරුවෝ” යන නමක් ද රුසියාව තුළ නිර්මාණය විය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ටමාරා ප්ලෙට්නිඕවා ඉහත කරුණු ප්‍රකාශ කළාය. එම කාලයේදී රුසියාව තුළ උපත් පාලනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව නොතිබිණි.

‘ඔලිම්පික් දරුවෝ’ යන්න රුසියානු කාන්තාවන් අප්‍රිකා, ලතින් ඇමෙරිකානු හෝ ආසියානු පිරිමින් හෝ සමඟ ලිංගික සබඳතා පැවැත්වීම හේතු කරගෙන ජාත්‍යන්තර ඉසවු පැවැත්වෙන කාලවලදී හෝ ඉන් පසු උපත ලැබූ සුදු සමක් නොමැති දරුවන් හැඳින්වීමට සෝවියට් සමයේදී යොදාගන්නා ලද්දකි. එම දරුවෝ බොහෝමයක් විවිධ වදහිංසාවලට ලක්වූහ.

“අපි උපත දිය යුත්තේ අපේ දරුවන්ට. මිශ්‍ර ජාතියක දරුවෝ විවිධ පීඩාවලට ලක්වුණා. එය සෝවියට් සමයේ සිට සිදුවුණා” යැයි ‘ගොවොරිත් මොස්කවා (මොස්කව්)’ ගුවන් විදුලි මැදිරියේදී ටමාරා ප්ලෙට්නිඕවා පැවැසුවාය.

“ඔවුන් එක් ජාතිකයන් වීම එක දෙයක්. තවත් ජාතියකින් වීම වෙනත් කරුණක්. මම ජාතිකවාදී නැහැ. එහෙත් එම දරුවන් කොච්චර දුකක් පීඩාවක් විඳිනවද කියලා මම දන්නවා. ඒ දරුවෝ අත්හැරලා දාලා. ඒක තමයි ඇත්ත. සමහර දරුවෝ ඔවුන්ගේ අම්මා එක්ක තනිවෙලා” යැයි ද ඇය කීවාය.

රුසියානු පුරවැසියන් ජනවර්ගය නොසලකා හැර ආදරය කරලා විවාහා වෙනවට තමන් කැමැති බව ද ඇය කීවාය. “රුසියානු පුරවැසියන් වාර්ගිකත්වය නොසලකා ආදරය කරලා විවාහ වෙනවට මම කැමැතියි” ඇය පැවැසුවාය.

ලෝක කුසලානය නැරඹීමට රුසියාවට පැමිණෙන විදේශීකයන් වෛරස රැගෙන ඇවිත් රුසියානු ජාතිකයන්ට ලෙඩ රෝග බෝ කරනු ඇතැයි තවත් දේශපාලනඥයෙක් පැවැසීය. රුසියානු පාර්ලිමේන්තුවේ ඇලෙක්සැන්ඩර් ෂෙරීන් කීය. ඔහු ද ඒ බව ප්‍රකාශ කළේ ‘ගොවොරිත් මොස්කවා (මොස්කව්)’ ගුවන් විදුලියට අදහස් දක්වමිනි. ඇතැම් විදේශිකයන් තරගාවලිය පැවැත්වෙන කාලයේදී තහනම් කරන ලද දෑ බෙදා හරිනු ඇතැයි ද ඔහු කීවේය.

පාපන්දු ලෝක කුසලානය අද (14) බ්‍රහස්පතින්ද ආරම්භ වීමට නියමිත අතර රටවල් 31ක පාපන්දු ලෝලීන් දහස් ගණනක් මේ වනවිට රුසියාවට පැමිණ අතර තවත් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිති. සමාරම්භක උත්සවයෙන් අනතුරුව සත්කාරක රට වන රුසියාව සහ සෞදි අරාබිය අතර පැවැත්වෙන පළමු තරගයෙන් පාපන්දු ලෝක කුසලානයේ පළමු වටය ආරම්භ විය.

ටමාරා ප්ලෙට්නිඕවා කරන ලද අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ‘අන්තර්ජාතික පාපන්දු සම්මේලනය’ හෝ ‘රෂියා 2018’ පාපන්දු ලෝකු කු-සලාන සංවිධායක කමිටුව මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැත.

ටමාරා ප්ලෙට්නිඕවා රුසියානු ෆෙඩරේෂනයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවකි. එම පක්ෂය ප්‍රධාන කරුණු කාරණාවලදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර්ට ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන විපක්ෂ පක්ෂයකි.

රුසියාවේ බහුතරය ‘රුසියානු ජාතිකයන්’ වන නමුත් සුළු ජාතික කණ්ඩායම් රැසක් ද එහි ජීවත් වෙති. එමෙන්ම රුසියාව මධ්‍යම ආසියාවෙන් සහ දකුණු  කෝකසියානුවෙන් පැමිණි විශාල ශ්‍රම බලකායකින් ද සමන්විත වේ.

හර්ෂණ තුෂාර
රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS