වයිරසය ගැන කිසිවක් වසං කරලා නැහැ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය, එහි ස්වභාවය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමන් කිසිවක් ලොවෙන් වසං නොකළ බව චීන රජය අවධාරණය කරයි.

චීන රජය මෙසේ කියා සිටියේ, වයිරසය සම්බන්ධයෙන් තොරතුරු හිතාමතා වසං කළේ යැයි ඇමෙරිකාවෙන් දිගින් දිගටම චෝදනා එල්ල වීමත් සමඟය. චීනය වයිරසය ගැන තොරතුරු වසං කළ බවටත්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කී සියල්ල පිළිගනිමින්  වයිරසය සම්බන්දයෙන් නිසි වෙලාවේ නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ඇමෙරිකාව දොස් කියයි.

චීනයේ වයිරසය ව්‍යාප්තිය වේගයෙන් පහළ ගොස් ඇති අතර, වයිරසය වයාප්තිය ආරම්භ වුණු හුබෙයි පළාතේ වූහාන් නුවර ආරක්ෂිත ස්ථානයක් යැයි චීන සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කරනු ලැබ තිබේ. මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් සහ ලතින් ඇමෙරිකා කලාපයේ රටවලිනි. ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,349 පසු කර ඇති අතර, මෙක්සිකෝවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 11,000 පසු කර තිබේ.

ලොව පුරා වයිරස ආසාදිතයන් ගණන මිලියන 6.4 ඉක්මවා තිබේ. ලොව පුරා සිදුවුණු මරණ ගණන 3,83,000 ක් බවත් එයින් 107,000 ක් ඇමෙරිකාවෙන් වාර්තා වන බවත් පැවැසෙයි. වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන මිලියන 2.7 කි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS