රුසියා තානාපති නිලධාරීහු 23 ක් පිටුවහල්



බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ එරට වාසය කළ රුසියානු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරී සර්ගේ ස්ක්‍රිපාල් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය පසුපස රුසියාව සිටින බවට චෝදනා කරමින්, බ්‍රිතාන්‍යයේ රැඳී සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනකු පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා තීරණය කළාය.

ඒ අනුව, නිරවි යුද්ධයෙන් පසු, බ්‍රිතාන්‍යය රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනකු පිටුවහල් කරන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා රුසියානු ඔත්තු සේවා නිලධාරීන් යැයි සැකයක් පවතින බවත්, ඒ අනුව ඔවුන් වහා රටින් පිටුවහල් කෙරනු ඇති බවත් අගමැතිනී තෙරේසා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය. එපමණක් නොව, රුසියාව සම්බන්ධයෙන් සම්බාධක පැනැවීමට පියවර ගන්නා බවට ද අගමැතිනී තෙරේසා මේ අනතුරු ඇඟවීම් කර ඇත.

66 හැවිරිදි සර්ගේ ස්ක්‍රිපාල් පමණක් නොව, ඔහුගේ 33 හැවිරිදි දියණිය ද ඝාතනය වූයේ පසුගිය ඉරිදා දිනයේය. සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණිය යුලියා පදිංචිව සිටියේ සැලිස්බරි නගරයේය.

පසුගිය ඉරිදා සවස මොවුන් දෙදෙනා සැලිස්බරි නගරයේ සුපිරි වෙළෙඳසැල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිහිසුන්ව සිටිද්දී පොලිසියට හමුවිය. කඩිනමින්, රෝහල් ගත කෙරුණ ද ස්ක්‍රිපාල් සහ දියණිය යුලියා තවමත් සිහිසුන් තත්ත්වයක පසුවන බව සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසිය පවසා ඇත.

ස්නායු පද්ධතිය අඩපණ කරන උග්‍ර විස වර්ගයක් මොවුන් දෙදෙනාට අඝ්‍රාණ කිරීමට හෝ කෑමට ගැනීමට හෝ සලස්වා ඇතැයි ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසිය සැක පළ කරයි. එම උග්‍ර විස වර්ගය බි්‍රතාන්‍ය භූමියේ නිපදවන්න ඇති බවට ද අනුමානයක් පවතී.

වස දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට සහාය දෙන ලෙස බ්‍රිතාන්‍ය රජය මීට දින කිහිපයකට පෙර රුසියාවෙන් ඉල්ලීමක් කළේය. කෙසේ නමුත් රුසියානුවෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. පුටින් ද හිටපු කේ.ජී.බී. රහස් ඔත්තු සේවා නිලධාරියෙකි. රුසියානු ජනාධිපතිවරණය 18 වැනිදා පැවැත්වෙන අතර, පුටින් ද ඊට ඉදිරිපත් වෙයි. පුටින්ට යළිත් විශිෂ්ට ජනවරමක් හිමිවනු ඇතැයි රුසියානු දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ස්ක්‍රිපාල් සහ දියණිය යුලියාට වස දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණවලට සහාය දීම රුසියාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, බ්‍රිතාන්‍ය රජයෙන් රුසියාවට දැඩි විරෝධයක් එල්ල වන්න වී විය. බ්‍රිතාන්‍යය තුළ නිර්මාණය කළ විසක් භාවිතා කරමින්, ස්ක්‍රිපාල් මරා දැමීමට රුසියාව උත්සාහ ගෙන ඇති බවට චෝදනා නැගෙන්න පටන් ගත්තේය.

කෙසේ නමුත් තමන්ට එල්ල වන චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ. තම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම සහ පැනැවීමට නියමිත සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ, ඒ ගැන බ්‍රිතාන්‍ය රජයට පසුතැවෙන්න සිදුවනු ඇති බවය. ලන්ඩන් නුවර රුසියානු තානාපතිවරයා පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගත් තීරණය අසාධාරණ මෙන්ම අදූර්දර්ශී ක්‍රියාවක් බවය.

සර්ගේ ස්ක්‍රිපාල් යනු රුසියාවේ කේ.ජී.බී. බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තු නිලධාරියෙකි. හමුදා කර්නල්වරයෙකු ද වෙයි. ස්ක්‍රිපාල් කේ.ජී.බී. ඔත්තුකරුවකු ලෙස කටයුතු කරද්දී බි්‍රතාන්‍ය රජය සහ බුද්ධි අංශය වෙනුවෙන් ද ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කර ඇත.

ඒ බව අනාවරණය වීමත් සමඟ 2006 වසරේ දී සර්ගේ ස්ක්‍රිපාල් ඊට වරදකරු විය. හත් වසරක සිර දඬුවමක් ද හිමිවිය. කෙසේ නමුත් රහස් ඔත්තු සේවා නිලධාරීන් හුවමාරු කරගැනීමේ ක්‍රමය යටතේ ස්ක්‍රිපාල් නිදහස් කර ගැනීමටත්, ඔහු තම රටට ගෙන්වා ගැනීමටත් බ්‍රිතාන්‍යය සමත් විය.

ඒ අනුව 2010 වසරේ සිට බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ සර්ගේ ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍යයේ සැලිස්බරි නගරයේ ජීවත් විය. ඔහුගේ දියණිය යුලියා ද ඔහු සමඟ ජීවත් වූවාය. ස්ක්‍රිපාල් සමඟ සමීපව සිටියේ දියණිය යුලියා ය. ස්ක්‍රිපාල්ගේ පුතා වන 43 හැවිරිදි ඇලැක්සැන්දර් ශාන්ත පීටර්බර්ග් නුවරදී හදිසියේ මියගොස් ඇතැයි පැවැසෙයි. ඒ, අක්මා රෝගයකිනි. එම මරණය සම්බන්ධයෙන් ද සැකයක් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. සර්ගේ ස්ක්‍රිපාල්ගේ බිරිඳ 2012 වසරේ දී පිළිකාවක් හේතුවෙන් මියගියාය.  

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS