මියුලර් වාර්තාව ප්‍රසිද්ධියට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, රුසියාව සමඟ එක්වී කුමන්ත්‍රණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නීතිවේදී රොබට් මියුලර් ඇතුළු විමර්ශන කණ්ඩායම සකස් කළ වාර්තාව මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකා නීතිපති විලියම් බාර් පියවර ගත්තේය.

‘මියුලර් වාර්තාව’ යන නමින් නම් කළ මෙය පිටු 440 කින් සමන්විතය. මෙම වාර්තාවේ අඩංගු තෝරාගත් කොටස් මීට මාසයකට පෙර, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණි.

ට්‍රම්ප් 2016 ජනපතිවරණයට පෙර හෝ ජනපතිවරණය පැවැත්වෙද්දී හෝ රුසියාව සමඟ කිසිදු ගනුදෙනු කළැයි එල්ල වන චෝදනා ඔප්පු කිරීමට කිසිදු ප්‍රබල සාක්ෂියක් නොමැති බව මියුලර් සිය වාර්තාවේ සඳහන් කර ඇති බව නීතිපති විලියම් බාර් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී, ඩිමොක්‍රටික් බහුතර බලයක් ඇති ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉල්ලා සිටියේ, මියුලර් වාර්තාව සම්පූර්ණයෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලෙසය. ඒ අනුව, වාර්තාව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීම නීතිපතිවරයා විසින් සිදු කරනු ලැබුණි.

ජනපති ට්‍රම්ප් රුසියාව සමඟ ‘කුමන්ත්‍රණය’ කළේ යැයි එල්ල වී ඇති චෝදනා ඔප්පු කළ නොහැකි බව මියුලර් සිය වාර්තාව මගින් පෙන්වා දී තිබුණත්. එම චෝදනා අසත්‍ය බව හෝ ජනපතිවරයා නිර්දෝෂීයි කියා හෝ කිසිදු සමාලෝචනයක් ඉදිරිපත් කර නැතැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් තම නිර්දෝෂීභාවය තහවුරු කිරීමට මියුලර් වාර්තාව සමත්වීම සතුටට කරුණක් බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ටිවටර් පණිවුඩයක් මගින් පවසා ඇත.
2016 ඇමෙරිකා ජනාධිපතිවරණයේ දී බොහෝ දෙනාගේ අපේකෂාව වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජය ගනු ඇති බවය.

රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට හේතුවූයේ රුසියානු පරිගණක හැකර්වරුන් විසින් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීම නිසා යැයි චෝදනා එල්ල විය. මියුලර් ඇතුළු පරීක්ෂණ කණ්ඩායම විමර්ශන කටයුතු සිදු කළේ එම චෝදනා මුල්කොට ගනිමිනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS