ට්‍රම්ප්ගෙන් බාධා



ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි ඇෆ්ගනිස්තානයේ සංචාරයකට යෑමට සූදානමින් සිටි නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී අවසන් මොහොතේ එම සංචාරය අවලංගු කර ඇතැයි වාර්තා වේ.

නැන්සි පෙලෝසි නියෝජනය කරන්නේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයයි. ඇමෙරිකා රජය, අයවැය සම්මත කර ගැනීමට නොහැකිව මේ වනවිට අර්බුදයකට මුහුණ දී සිටී.

ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යෝජනා කර ඇති ප්‍රාකාරය මුල්කොට ගනිමිනි. අයවැය ඔස්සේ, ප්‍රාකාරයට ද මුදල් වෙන් කිරීමට ට්‍රම්ප් උත්සාහ කළේය.

දේශසීමාවේ මෙසේ ප්‍රාකාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික්වරුන්ගෙන් පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැමුන්ගෙන් පවා විරෝධයක් එල්ල වී ඇත.

කතානායිකා නැන්සි පෙලෝසි ඇෆ්ගනිස්තානයට ගොස් එහි රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමට නියමිතව සිටියාය. ජනාධිපති ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින සියලුම ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීමට සූදානමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී, නැන්සි පෙලෝසිගේ ගමන අවලංගු කිරීමට කටයුතු කළේ, තම ප්‍රාකාරය සඳහා මුදල් වෙන් කිරීමට ඇය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු ඩිමොක්‍රටික්වරුන් තරයේ විරෝධය දැක්වීම හේතුවෙනි. ජනාධිපති ට්‍රම්ප් මේ අයුරින්, කතානායිකා නැන්සි පෙලොසිගෙන් ‘පළිගැනීම’ ඉතා නින්දාසහගත යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS