එරෙහි විශ්වාසභංගය පරදී



ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව, ලෝක් සභාවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජයට පත් විය.

විශ්වාසභංග යෝජනාව, ලෝක් සභාවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 20 වැනිදාය. එය සිදුවූයේ ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති චන්ද්‍රාබාබු නයිදුගේ නායකත්වයෙනි. නයිදු, තෙලිගු දේශම් පක්ෂයේ නායකයාය. ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස්පක්ෂය සහ එහි නායක රාහුල් ගාන්ධිගේ සහාය ඊට හිමිවිය.

පැය 12 ක් පුරා පැවැති විවාදවලින් පසු, ඡන්ද විමසුම සිදුවිය.  ඉන්දීය ලෝක් සභාව සාමාජිකයන් 451 දෙනකුගෙන් සමන්විතය.

විශ්වාසභංග යෝජනාවට විරෝධය දක්වමින් 352 ක් ඡන්දය ලබා දුන් අතර, පක්ෂව ඡන්දය දුන්නේ 126 ක් පමණි. ඒ අනුව, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට තුනෙන් දෙකක ජයක් හිමිවිය.

මේ අතර, ඡන්දය විමසීමේ දී, තමිල්නාඩුවේ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ සහාය අගමැති මෝදිට හිමිවීම සුවිශේෂත්වයක් බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

අගමැති මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය එයින් මැනැවින් පෙනී යන බව එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් ද පහසු මෙන්ම විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මෝදිට හැකිවනු ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS