අර්බුදයට ඇමෙරිකාව ඕනෑ නෑ




දෙරටේ අර්බුදයට විසඳුම් සෙවීමේදී, ඇමෙරිකාව සම්බන්ධ කර ගැනීමෙන් වළකින්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ට දන්වා ඇතැයි දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කළේය.

මේ වනවිට උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර සාකච්ඡා පැවැත්වෙයි. සාකච්ඡා සඳහා දෙරටේ නියෝජිතයෝ දෙරටටම පොදු දේශසීමා ගම්මානයේ දී හමුවෙති. උතුරු කොරියාවත් දකුණු කොරියාවත් මේ අයුරින් මීට පෙර සාකච්ඡා පැවැත්වූයේ 2015 වසරේදීය.

පසුගිය වසර දෙකක කාලය පුරාවට සාකච්ඡා පැවැත්වීමක් සිදු නොවුණු අතර, උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට නිරන්තරයෙන් තර්ජන එල්ල වන්න විය. උතුරු කොරියාව සාකච්ඡා සඳහා අවතීර්ණ වී සිටින්නේ දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන්ගේ ආරාධනය මතය.

දකුණු කොරියානු රජය පවසා ඇත්තේ තමන් උතුරු කොරියාව සමඟ මෙසේ සාකච්ඡා පවත්වන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙහෙයවීම යටතේ බවය. ඒ ගැන ට්‍රම්ප්ට සුබ පැතීමට ද දකුණු කොරියානු රජය කටයුතු කර තිබේ. මෙය උතුරු කොරියානුවන්ගේ විරෝධයට හේතුවක් වී ඇත. ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම සාකච්ඡා සාර්ථක වුවහොත්, තමා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවීමට කටයුතු කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS