’ඔමික්‍රෝන්’ ගැන ලොවට හෙළි කරනවා



'කොවිඩ් 19 ඔමික්‍රෝන්' වයිරස විකෘතිය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරි දින කීපයේ දී ලොවට අනාවරණය කිරීමට තමන් සූදානමින් සිටින බවත්, මේ වනවිට ලොව නන්දෙසින් හඳුනාගත් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් ගැන තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබී ඇති තොරතුරු අනුව ඊයේ (2) වනවිට ලොව නන්දෙසින් වාර්තා වුණු 'ඔමික්‍රෝන්' ආසාදිතයන් ගණණ 400 කි. වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ විකෘතිය පළමුවෙන් හඳුනාගත් දකුණු අප්‍රිකාවෙනි.
දකුණු අප්‍රිකා වයිරසවේදීන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශෙෂඥයන් ද 'ඔමික්‍රෝන්' බිහිසුණු වයිරස විකෘතියක් බව පවසන්නේ ඊට මෙතෙක් හමුවී ඇති සියලු 'කොවිඩ් 19' වයිරස විකෘතිවල ගති ලක්ෂණ ඇති බැවිනි.

ඊට අමතරව, 'ඔමික්‍රෝන්' සඳහා පමණක් විශේෂිත වූ ගති ලක්ෂණ රැසක් ද වෙයි. ඒ සියල්ල සැලකීමේ දී, එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන, වැඩි වාර ගණනක් පිටපිට ආසාදනය විය හැකි විකෘතියක් ලෙස 'ඔමික්‍රෝන්' සැලකෙයි. එසේ වුවත් විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට නම් සති කීපයක් ගතවනු ඇතැයි වයිරය හඳුනා ගත් අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කළේය. ඊයේ (2) වනවිට 'ඔමික්‍රෝන්' ව්‍යාප්ත වූ රටවල් ගණන 30 පසු කර තිබුණි.

ඉන්දියාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වූයේ ඉන්දීය සෞඛ්‍ය අංශ ජාන විශ්ලේෂණය කරමින්, ඔමික්‍රෝන් ආසාදිතයන් සෙවීම ආරම්භ කළ අවස්ථාවේදීය. ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, එරටින් හමුවුණු 'ඔමික්‍රෝන්' ආසාදිතයෝ දෙදෙනා අවුරුදු 66 ත් 46 ත් වියෙහි පසුවෙති. මොවුන් දකුණු දිග කර්ණාටක ප්‍රාන්තයේ වැසියන්ය. මෙම ආසාදිතයන් දෙදෙනාගෙන් බරපතල රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. මෙම දෙදෙනාගේ සමීපතම ආශ්‍රිතයන් පවා 'කොවිඩ් 19' පරීක්ෂණවලට ලක් කර නිරෝධායනයට යොමු කළ බව ද ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ග්‍රීසිය ද වාර්තා කර ඇත්තේ එරටින් පළමු 'ඔමික්‍රෝන්' ආසාදිතයා හමුවුණු බවය. මෙම ආසාදිතයා ක්‍රේට් දූපතේ වැසියකු බව පැවැසෙයි. ග්‍රීක සෞඛ්‍ය අමාත්‍ය තේනෝස් ප්ලෙව්රීස් පවසන ආකාරයට මොහු දකුණු අප්‍රිකා සංචාරයකින් පසු යළි ක්‍රේට් දූපතට පැමිණ ඇත්තේ මීට මාසයකට පෙරය.

(රොයිටර්)


RECOMMEND POSTS