විස කෑ දෙන්නා හොඳින්



මහා බ්‍රිතාන්‍යයේ ආක්ෂාව ලැබ එරට සැලිස්බරි පළාතේ වාසය කරමින් සිටි, රුසියාවේ හිටපු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරී සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණිය යුලියාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

මාරක විස ප්‍රහාරයකට ලක්වුණු මොවුන් දෙදෙනා සති කිහිපයක් පුරාවට සිහිසුන් තත්ත්වයක පසුවිය. මේ වනවිට 33 හැවිරිදි දියණිය යුලියාට සිහිය ලැබී ඇති බවත්, 66 හැවිරිදි සර්ගේ ස්ක්‍රිපාල්ගේ තත්ත්වය ද යහපත් බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

මොවුන් දෙදෙනා ඝතනය කිරීමට විස වායුවක් වන ‘නොවිචොක්’ යොදා ගත් බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම විස වායුව රුසියානුවන් විසින් නිර්මාණය කරන ලද්දක් හෙයින්, රුසියාව මෙම විස වායු ප්‍රහාරය පසුපස සිටිනවා යැයි චෝදනා එල්ල වී ඇත.

හමුදා කර්නල්වරයකු ද වුණු සර්ගේ ස්ක්‍රිපාල් රුසියානු ඔත්තුකරුවකු ලෙස කටයුතු කරද්දී, බ්‍රිතාන්‍යය වෙනුවෙන් ද ඔත්තු සැපැයීම කර ඇත. මෙය අනාවරණය වුණු පසු රුසියාව සර්ගේ ස්ක්‍රිපාල් සිරගත කළේය.

බ්‍රිතාන්‍යයත් රුසියාවත් අතර සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් යටතේ සර්ගේ ස්ක්‍රිපාල් නිදහස් කර ගැනීමටත්, ඔහු සහ දියණිය බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමටත් බ්‍රිතාන්‍යය කටයුතු කර තිබුණි.

(බී.බී.සී.)


බ්‍රිතාන්‍යය


RECOMMEND POSTS