විපක්ෂය සමඟ සාකච්ඡා කරන්න



විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා හටගෙන ඇති දේශපාලනික අර්බුදය වහාම විසඳා ගන්නැයි යුරෝපා සංගමය මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රමුඛ රජයට පවසා ඇත.

මාලදිවයින දූපත් රාජ්‍යයේ නිර්මාණය වුණු දේශපාලන අර්බුදය ගැන තමන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බවත්, විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා, සාමකාමී ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් යුරෝපා සංගමය මාලදිවයින ජනපතිවරයාට පවසා ඇති බව ද වාර්තා වේ.

මාලදිවයිනේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති යමීන් අකමැති වීමත් සමඟය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා තීන්දු කළේ අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත්, රටින් පිටුවහල් වී සිටින හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ට යළි මාලිදිවයිනට පැමිණෙන්න අවසර දෙන ලෙසත්ය.

හටගත් දේශපාලන අර්බුදය මේ වනවිට ඔඩුදුවා ඇති අතර, මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නියෝගය මත, එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, අගවිනිසුරු සහ තවත් විනිසුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, අගවිනිසුරු අබ්දුල්ලා සයීඞ් සහ විනිසුරු අල් හමීද් අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ, මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රමුඛ ඔහුගේ රජය හදිසි නීතිය ප්‍රකාශයට පත් කර පැය කීපයක් ගත වෙද්දී යැයි ද පැවැසෙයි. හදිසි නීතිය පනවා ඇත්තේ දින 15 ක කාලයක් සඳහාය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS