චීනයේ අබිරහස් වයිරසය උත්සන්න වෙයි



මධ්‍යම චීනයේ වූහාන් නගරයේ පැතිර යන, නිව්මෝනියා තත්ත්වයක් ඇති කරන, අබිරහස් වයිරස උණ රෝගය ආසාදනය වූ තවත් රෝගියකු මියගිය බව චීන පුවත් සේවා වාර්තා කළේය.

අබිරහස් වයිරසය ආසාදනය වූ 41 දෙනකු මේ වනවිට රෝහල්ගතව සිටින බවත්, ඔවුන්ගේ පස් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මියගොස් ඇත්තේ 69 හැවිරිදි පුද්ගලයකු බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබේ. රෝගය වැලඳී සුවය ලබා රෝහලෙන් පිටවුණු පුද්ගලයන් පස් දෙනකු සිටින බව ද සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම වයිරස රෝගය අබිරහසක් වී ඇත්තේ එය මිනිසුන්ට ආසාදනය වන ආකාරය මෙතෙක් සොයා නොගැනීමෙනි. එය මුහුදු ආහාර මගින් මිනිසුන් ආසාදනය වෙනවා යැයි අනුමාන කෙරේ. රෝගයට ප්‍රතිකර්මයක් ද නැත.

චීනයේ වූහාන් නගරයේ පැතිර යන මෙම වයිරසය ජපානයේ කනගාවා පළාතේ ද පැතිර යෑමේ අවදානමක් ඇති බව ජපාන සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ඒ, ජපානයේ ටෝකියෝ අගනුවරට දකුණු දෙසින්, කනගාවේ පළාතේ ජපන් තරුණයකුට රෝගය ආසානය වීමත් සමඟය.

මෙම තරුණයා වූහාන් පළාතේ සිට පැමිණි අයකු බව තහවුරු වීමත් සමඟ ඔහු වෙන් කිරීමට (නිරෝධායනය) පියවර ගැණින.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS