චීනයට ගෙනා කුකුළු මස්වල කොරෝනා



බ්‍රසීලයේ සිට දකුණු දිග චීනයේ ෂෙන්සෙන් නගරයට ආනයනය කළ කුකුළුමස් තොගයක් අහඹු ලෙස පරීක්ෂා කරද්දී, එම මස්වල කොරෝනා වයිරස විෂබීජ තිබී හමුවුණු බව චීන රජය පැවැසීය.

කුකුළු මස් ආශ්‍රිතව කොරෝනා වයිරස විෂබීජ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. බ්‍රසීල කුකුළු මස්වල කොරෝනා වයිරස විෂබීජ තිබීම සම්බන්ධයෙන් බ්‍රසීල රජය හෝ චීනයේ බීජීං අගනුවර බ්‍රසීල තානාපති කාර්යාලය හෝ කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැත.

පසුගිය ජූනි මාසයේ පටන්, චීනයට ආනයනය කෙරෙන සියලු සත්ව මාංශ සහ මුහුදු ආහාර සියල්ල විශේෂ පරීක්ෂණයකට යොමු කිරීමට චීන රජය කටයුතු කර තිබේ. ඒ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් බීජීං අගනුවර, සින්ෆාඩී නමැති මුහුදු ආහාර වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමින් හිස එසවීමත් සමඟය.

පළමු වරට චීනයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේය. වයිරසයේ කේන්ද්‍රස්ථානය හුබෙයි පළාතේ වූහාන් නුවර මුහුදු ආහාර වෙළෙඳපොළ ලෙස එම අවස්ථාවේදී හඳුනා ගැණින.

ඒ සමඟ සත්ව ආහාර විකණීම පමණක් නොව ආනයනය ද සම්පූර්ණයෙන් නවතා දැමීමට චීන රජය පියවර ගත්තේය. එම තහංචිය ලිහිල් කෙරුණේ, චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වසංගතය පාලනය කළ බැවිනි.

පසුගිය දා බීජිං අගනුවරින් දෙවැනි රැල්ලක් හටගත්තේ එසේ කොරෝනා පාලනය වී තිබියදීය. එම දෙවැනි රැල්ල ද සාර්ථකව පාලනය කිරීමට බීජීං සෞඛ්‍ය බලධාරීන් සමත් විය. ඒ, හමුදාවේ ද උදව්ව ඇතිවය.

අද වනවිට චීනයෙන් කොරෝනා අඩු වෙද්දී, ලෝකයේ කොරෝනා කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේත්, මරණ වාර්තා වී ඇත්තේත් බ්‍රසීලයෙනි.

බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 3,170,474 කි. මරණ වාර්තා වන්නේ 104,300 ක් ලෙසණි. චීනයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 84,756 කි. මරණ ගණන 4,634 කි.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS