ඉම්රාන්ට ඉන්දියාවෙන් ඇරැයුමක්



ඉන්දියාවේ පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ඇරැයුම් කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, පාකිස්තාන අගමැතිවරයාට ඇරැයුම් කර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශයයි.

‘ෂැංග්හායි සහයෝගීතා සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ඊට සම්බන්ධ සියලු කලාපීය රටවල නායකයන් සමුළුවට සහභාගී වීමට ඉන්දියාවට පැමිණීමට නියමිතයි. අප පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ටත් ඇරැයුම් කරනවා සමුළුවට සහභාගී වෙන්න’ යැයි ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක රවීෂ් කුමාර් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ ෂැංග්හායි සහයෝගීතා සමුළුව වාර්ෂිකව පැවැත්වෙයි. ෂැංග්හායි සහයෝගීතා සංවිධානය යනු චීනයේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයකි.

දකුණු ආසියානු කලාපීය රටවල් අතරේ ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මෙම සංවිධානයේ අරමුණය. චීනයේ නායකත්වයෙන් පිහිටුවූ ෂැංග්හායි සංවිධානයට ඉන්දියාව සහ පාකිස්තානය එක් කර ගැනීම සිදුවූයේ 2017 වසරේදීය.

ෂැංග්හායි සහයෝගීතා සමුළුවක් ඉන්දියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇත. සමුළුව පැවැත්වෙන්නේ ලබන ඔක්තෝබරයේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඇරැයුම සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන්ගෙන් මෙතෙක් පිළිතුරක් ලැබී නැති බව ද පැවැසෙයි. ඉන්දීය අගමැති මෝදිගේ ඇරැයුම පිළිගනිමින් ඉම්රාන් ඉන්දියාවට පැමිණෙන්නේ නම්, පාකිස්තාන අගමැති ලෙස ඉම්රාන් ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දේශසීමා ගැටුම් හේතුවෙන් ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින නොහොඳනෝක්කඩු උත්සන්න විය.

පාකිස්තාන අගමැති ඉම්රාන්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීමට උත්සාහ ගත්ත ද ඉන්දීය අගමැති මෝදි හෝ ඉන්දීය රජය හෝ ඊට කන් දුන්නේ නැත. ඒ අනුව ඉන්දියාවත් පාකිස්තානයත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙදරා ගියේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS