ජනපති ට්‍රම්ප් පසුබසී



ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම සඳහා ඇමෙරිකාවේ කෙන්ටකි, වර්ජීනියා සහ මිසිසිපි ජනපදවල මැතිවරණ පැවැත්වුණු අතර, කෙන්ටකි සහ වර්ජීනියා ජනපද ජයග්‍රහණය කළේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයයි. මිසිසිපි ජනපදයේ බලය රඳවා ගැනීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සමත් විය.

ආණ්ඩුකාරවරුන් තෝරා පත් කර ගැනීමට ජනපද මට්ටමින් පැවැත්වෙන මෙම මැතිවරණ 2020 දී පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනපතිවරණය සම්බන්ධයෙන් අනාවැකි කියනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වසර 20 ක් තිස්සේ වර්ජීනියා ජනපදය රිපබ්ලිකන් බළකොටුවක් විය. මෙවර මැතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂයට ප්‍රථම වතාවට වර්ජීනියා ජනපදයේ සම්පූර්ණ බලය හිමිකර ගැනීමට හැකිවිය.

වර්ජීනියා ප්‍රාන්තයේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින මහජන මතය ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම වසරේ මැයි 31 වැනිදා වර්ජීනියා බීච් නගරසභා නිලධාරියකු නගරසභා ගොඩනැගිල්ල තුළ කළ වෙඩි තැබීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිවු දෙනෙක් තුවාල ලැබූහ.

කෙන්ටකි ජනපදය රිපබ්ලිකන් පක්ෂයට අහිමිවීම ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ පරාජයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැතිවරණයට පෙර කෙන්ටකි ජනපදයේ පැවැති අවසන් ජන රැළියට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී විය. එම අවස්ථාවේ දී ඔහු රැස්ව සිටි පිරිසට කීවේ, කෙන්ටකි ජනපදය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු බවත්, එසේ නොවුණොත් එය තමන්ගේ දුර්වලකමක් ලෙස ලෝකයා තමන්ට සිනාසෙනු ඇති බවත්ය.

ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන්වරුන්ට කෙන්ටකි ජනපදය අහිමි 0.36 ප්‍රතිශතයකිනි. ඇන්ඩි බෙෂර් සියයට 49.2 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් අතර, රිපබ්ලිකන් අපේක්ෂක මැට් බෙවින්ට හිමි කර ගැනීමට හැකි වූයේ 48.8 ක ඡන්ද ප්‍රතිශතයකි.
ගුරුවරුන්ගේ විශාම වැටුප් සම්බන්ධයෙන් කෙන්ටකි ජනපදයේ අර්බුදයක් නිර්මාණය වී තිබුණි.

එම අර්බුදය සාර්ථකව විසඳීමට රිපබ්ලිකන් බලධාරීන්ට හැකියාවන් ලැබුණේ නැත. 0.36 කින් ඇන්ඩි බෙෂර්ට ජයග්‍රහණය කිරීමට එය හේතුවක් විය. ගුරුවරුන්ගේ විශ්‍රාම වැටප් සම්බන්ධයෙන් සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින්, එම වැටුප් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට බෙෂර් ප්‍රතිඥා දී තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS