ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඉන්දියාවට දෙහි කපයි



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 42 වැනි සැසිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ අතර, ජම්මු කාශ්මීර අර්බුදය සහ ඇසෑම් ප්‍රාන්තයේ හටගන ඇති අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට දොස් නැගුවාය.

ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන්ගේ පැහැදීමක් නැතැයි මානව හිමිකම් කොමසාරිස්වරිය සමුළුව අමතමින් පැහැදිලි කළාය. සමුළුවට ඉන්දීය මෙන්ම පාකිස්තාන නියෝජිතයෝ ද සහභාගීවී සිටියහ.

ඉන්දු කාශ්මීරයේ ජම්මු සහ කාශ්මීර ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනැවීම, අන්තර් ජාල සහ දුරකතන සබඳතා අත්හිටුවීමට පියවර ගැනීම, දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ආදිය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි සමුළුව අමතමින් බැචලේ පෙන්වා දුන්නාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ඉන්දු කාශ්මීර අර්බුදය කෙරෙහි අවධානයක් යොමු වූයේ, ඊට සහභාගී වුණු පාකිස්තාන නියෝජිත කණ්ඩායම කළ පැමිණිලි සැලකිල්ලට ගනිමිණි. පාකිස්තාන නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂිය.

විදේශ කුරේෂි, ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් මෙන්ම කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැචලේ පැහැදිලි කර ඇතැයි ද පැවැසෙයි.

ඉන්දු කාශ්මීරයේ අර්බුදයක් නිර්මාණය වූයේ ඉන්දියාව, ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල අහෝසි කිරීමෙන් පසුවය. විශේෂ බලතල අහෝසි කිරීමෙන් පසු ජම්මු සහ කාශ්මීර පළාත් ඉන්දීය මධ්‍යම රජය යටතට ගැනීම සිදුවිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සහභාගී වුණු ඉන්දීය නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ අජේ බිසාරියාය. කාශ්මීරය සම්බන්ධයෙන් අර්බුදය හටගත් අවස්ථාවේදී පාකිස්තානය එරට ඉන්දීය තානාපතිවරයා නෙරපා දැමීය. එසේ නෙරපා දැම්මේ පාකිස්තානයේ ඉන්දීය තානාපති ලෙස කටයුතු කරමින් සිටියේ බිසාරියාය.

ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය කෙරෙහි ද මානව හිමිකම් කොමසාරිස්වරියගේ අවධානය යොමු විය.

පසුගිය දා ඇසෑම් ප්‍රාන්තයේ ජාතික පුරවැසි ලැයිස්තුව යවත්කාලීන කර එළිදැක්වීය. එහිදී ඇසෑමයේ ජීවත් වන ලක්ෂ 19 ක පිරිසක් ඉන්දීය පුරවැසියන් නොව, ‘විදේශිකයන්’ ලෙස සලකනු ලැබුණි. මෙම පිරිසට ඉන්දියාව අහිමි නොකරන ලෙසත් ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS