එන්නත හැමෝටම ලැබෙන්නේ නෑ



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන එන්නතක් සාර්ථකව නිපදවූවත්, එය එකවර හැමෝටම ලබා නොදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිරත්නම් පවසයි.

ඉන්දීය සම්භවයක් සහිත තැනැත්තියක වන සෞම්‍යා ස්වාමිරත්නම් පවසන්නේ නිරෝගී තරුණ තරුණයන්ට එම එන්නත ලැබෙනු ඇත්තේ ලබන 2021 වසරේ දී නොව, 2022 වසරේ හෝ ඊට පසුව බවය‍.

කොරෝනා වයිරසයට වයස් භේදයක් නොමැති නමුත් එය අසාධ්‍ය වන්නේ වැඩිහිටියන්ට බවත්, නිපදවන සාර්ථක එන්නත පළමුවෙන් ලෝක වැඩිහිටි ප්‍රජාවට ලබා දෙන බවත් සෞම්‍යා ස්වාමිරත්නම් පැහැදිලි කර තිබේ. ඊට අමතරව බෝ නොවන රෝගවලින් පෙනෙන, ජීවිත අවදානමක් ඇති රෝගීන්ට ද එන්නත කඩිනමින් ලබා දීමට නියමිතය. සෙසු නිරෝගී තරුණ තරුණියන්ට එන්නත ලබා දීම වසර කීපයක් ප්‍රමාද වනු ඇති බව ප්‍රධාන විද්‍යාඥවරිය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට රටවල් රැසක ඖෂධ නිෂ්පාදන සමාගම් එන්නත් සියයකට වැඩි ප්‍රමාණයක් නිපදවමින් පවතින බව වාර්තා වේ. රුසියාව සහ චීනය ඒ අතරින් පෙරමුණ ගෙන ඇතත්, එම එන්නත් ද තවමත් සියයට සියයක් සායනික පර්යේෂණ අවසන් කර නැත. සාර්ථක මෙන්ම ආරක්ෂිත කොරෝනා මර්දන එන්නතක් නිසැක වශයෙන්ම ලබන 2021 දී ලොවට හදුන්වා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තරයේ පවසා තිබේ.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS