සටන්කාමීන් සොයා රෝහලට කඩා වදී



හමාස් සටන්කාමීන් සොයමින් වැටලීම් සිදු කරන ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ, ඛාන් යුනිස් නගරයේ, නසාර් රෝහලට කඩා වැදුණි.

ඊශ්‍රායල හමුදා නසාර් රෝහලට කඩා වැදුණේ, රෝගීන් අතරේ හමාස් සටන්කාමීන් සැඟවී සිටින බවට ලැබුණු තොරතුරුවලට අනුවය.

රෝහල තුළ දී හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ අවි හුමවාමරුවක් ද සිදුවිය. එයින් හමාස් සටන්කාමීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාසා සිවිල් වැසියන් වෙඩි හුවමාරුවට මැදි වුණු බවත්, බොහෝ දෙදෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නසාර් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 450 කි. රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 300 කි. රෝගීන්ට අමතරව, ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරී, ආරක්ෂාව පතා රෝහලේ රැඳී සිටින පලස්තීන සිවිල් වැසියන් ගණන 10,000 කි.

මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පලස්තීන සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දිගින් දිගටම සිය කනස්සල්ල පළ කර ඇත.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ විනාඩි 40 ක් තිස්සේ දුරකතන ඔස්සේ සාකච්ඡා පැවැත්විණි.

පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන මෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරයා, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එකම විසඳුම යැයි බයිඩන් දිගින් දිගටම පෙන්වා දුන් නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු එය එකහෙලා ප්‍රතික්ෂේප කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS