ඉරානයේ බෝම්බ පිපිරේ: 103 ක් මරුට



ඉරානයේ බෝම්බ දෙකක් පුපුරා යෑමෙන්, 103 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය පවසයි.

බෝම්බ පුපුරා ගියේ, ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින්, මියගිය ඉරාන විප්ලවීය හමුදාවේ ජනරාල්වරයකු වූ කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, ඉරානයේ දකුණුදිග කෙර්මාන් නුවර, ඔහුගේ සොහොන් ගැබ අභියස පැවැත්වෙද්දීය.

කසීම් සුලෙයිමානීගේ සොහොන් ගැබ ඇත්තේ ෂියා මුස්ලිම් ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසලය. ගුණ සැමරුමට දහසකට වැඩි ඉරාන වැසියෝ පිරිසක් එක් රොක් වී සිටියහ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉරාන ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත.

ඉරානය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ලොව එකම රාජ්‍යයයි.

ඉරානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ සුන්නි මුස්ලිම් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය.

සුන්නි මුස්ලිම් ත්‍රස්තයන්, පසුගිය වසර ගණනාව පුරා ෂියා මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදු කර ඇත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගෙන් පසු, ඉරානයේ වඩාත් බලගතුම තැනැත්තා බවට පත් වී සිටියේ ජනරාල් කසීම් සුලෙයිමානී ය.

සුලෙයිමානී ඉරාන විප්ලවීය හමුදාවට අයත් අතිරේක බලඇණිවලට නායකත්වය දුන්නේය.

සුලෙයිමානී ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වූයේ 2020 වසරේ දී ඉරාකයට ගිය අවස්ථාවේදීය.

ඇමෙරිකන් හමුදා සුලෙයිමානී ඝාතනය කළේ එවකට ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් නියෝගයකට අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS