අල් අක්සා ප්‍රහාරය



අරාබියේ, මුස්ලිම් නොවන එකම රට යුදෙව් ඊශ්‍රායලයයි. ලොව දක්ෂත මල ශක්තිමත් ම හමුදාවක් සහ අති දක්ෂ බුද්ධි අංශයක් ඊශ්‍රායලය සතුය. ඒ, මොසාඩ් බුද්ධි අංශයයි. මොසාඩ් ඒජන්තවරුන් නැති තැනක් නැත. ගාසා තීරය පාලනය කරන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතරේ පවා මොසාඩ් ඒජන්තවරු වෙති. හමාස් සංවිධානයට මුදල් ලබා දෙන, අවි ආයුධ ලබා දෙන, අවි පුහුණුව ලබා දෙන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ද මොසාඩ් ඒජන්තවරු වෙති.

ගාසා තීරය සහ ඊශ්‍රායලය බෙදා වෙන් කරන දේශසීමාව තරම් ආරක්ෂිත ස්ථානයක් තවත් නැත. කටු කම්ඹිවලින් වට කළ එම දේශසීමා යකඩ වැඩ තරණය කිරීම අසීරුය. යකඩ වැට පුරාවට ආරක්ෂක කැමරා සවි කර තිබේ. කවුරු හරි දේශසීමාව පසු කළොත් අනතුරු ඇඟවීමට සංවේදක සවි කර තිබේ. ඊශ්‍රායල හමුදාව, පැය 24 පුරා දේශසීමාවේ මුර සංචාරයේ යෙදෙයි. එතරම් ආරක්ෂාවක් තිබියදී, මොසාඩ් බුද්ධි අංශයට අතුල් පහරක් එල්ල කරමින්, හමාස් ඉස්ලාමීය සටන්කාමීහු ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් ඊශ්‍රායලයට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළේය.

ලොව හොඳම මිසයිල ආරක්ෂක පද්ධතිය ඇත්තේ ඊශ්‍රායලය සතුවය. ‘අයන් ඩෝම්’ යනුවෙන් එය හැඳින්වෙයි. ‘අයන් ඩෝම්’ යනු භූමියේ සිට ගුවනේ මිසයිල විනාශ කිරීමට ස්ථාපිත කළ මිසයිල නාශක පද්ධතියයි. ඊශ්‍රායලය දෙසට සතුරු මිසයිල එල්ල වෙද්දී, ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතියේ රේඩාර්වලට ඒවා හසුවෙයි. ඒ අනුව, ආරක්ෂක පද්ධතිය පණ ගැන්වෙයි. සතුරු මිසයිලවල ඉලක්කය සහ ගමන් මඟ සැණින් හඳුනා ගනී. ලැබෙන රේඩාර් දත්ත, මිසයිල පාලන පද්ධතියට යැවෙයි. ඒ අනුව, සතුරු මිසයිල ඉලක්ක කර ගනිමින්, ප්‍රති මිසයිල විදීම ඇරැඹෙයි. සතුරු මිසයිල උඩු ගුවනේදීම විනාශ කර දැමෙයි. මෙම ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වන්නේ, 2011 වසරේ සිටය. මුළු ඊශ්‍රායලයම ආවරණය කරමින් මෙම පද්ධතිය ස්ථාපිත කර තිබේ. ආරක්ෂක පද්ධතියේ සාර්ථකත්වය සියයට 90 කට වැඩිය.

ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, පසුගිය වසර කීපය පුරාවට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට මිසයිල එල්ල කිරීමට උත්සාහ ගත් නමුත් ‘අයන් ඩෝම්’ ඊට හරස් විය. විටින් විට, ගාසා තීරයෙන් ආ සෑම සතුරු මිසයිලයක්ම, ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතිය සැණින් විනාශ කළේ ඊශ්‍රායල වැසියන් රැක ගනිමිනි. ඒ අනුව, හමාස් සටන්කාමීන්ට, ඊශ්‍රායලයට පහර දීම ගැටලුවක් විය. හමාස් සටන්කාමීන් උත්සාහය අත් හැරියේ නැත. ඔවුන් අසාර්ථක වූ සෑම ප්‍රහාරයකින්ම කළේ ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතියේ දුර්වල තැන් සෙවීමය. අවසානයේ, ඔවුන්ට දුර්වල තැනක් හමුවිය.

ඉතා කෙටි කාලයක් තුළ එක පොකුරට මිසයිල විදීමක් කළොත්, ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතිය අන්දුන්කුන්දුන් වෙයි. වසර ගණනක අසාර්ථක ප්‍රහාරවලින් මේ බව අවබෝධ කර ගැනීමට හමාස් සටන්කාමීන්ට හැකි වී තිබුණි. පසුගිය 7 වැනිදා උදෑසන 6 ට පමණ, හමාස් සටන්කාමීන්, ගාසා තීරයේ සිට, මිසයිල 5,000 ක් එක පොකුරට ඊශ්‍රායලය දෙසට විද්දේය. ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතියට හඳුනා ගැනීමට හැකි වූයේ එයින් මිසයිල 3,000 ක් පමණි.

ආරක්ෂක පද්ධතියෙන් බේරුණු මිසයිල ඊශ්‍රායලයේ නගරවලට පතිත විය. ටෙල් අවීව් නුවර දක්වා ද සතුරු මිසයිල පැමිණියේය. සටන්කාමීන්ට සාර්ථකව ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීමට හැකියාව ලැබුණේ එලෙසය. හමස් සටන්කාමීන් ‘අයන් ඩෝම්’ පද්ධතිය අඩපණ කිරීමට විද්දේ මිලෙන් අඩු, බාල වර්ගයේ මිසයිලය. ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතිය ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ, මිලෙන් වැඩි, සුපිරි තාක්ෂණයෙන් නිපදවූ, ඉතා වටිනා ‘තමීර්’ මිසයිලවලිනි.

පසුගිය 7 වැනිදා උදෑසන මෙසේ මිසයිල ප්‍රහාර එල්ල වෙද්දී සිය ගණනකට වැඩි හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් ඊශ්‍රායල භූමියට කඩා වැදුණි. දේශසීමා වැට බුල්ඩෝසර් යන්ත්‍ර භාවිතයට ගනිමින් පෙරළා දැමුණි. දේශසීවා වැටට යටින් රිංගා යෑමට උමං හාරා තිබුණි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පසුව පැවැසුවේ සටන්කාමීන් ස්ථාන 29 කින් දේශසීමා වැට හරහා ඊශ්‍රායලයට ඇතුළු වී තිබුණු බවය. ඉන්පසු ඊශ්‍රායලයේ කුඩා ජනාවාස හතකට සහ ආරක්ෂක අංශ අණදෙන මධ්‍යස්ථානයකට කඩා වැදුණු හමාස් සටන්කාමීන්, ඒවා අත්පත් කරගත්තේ කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල සාල්දාදුවන් සියයකට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන, පසුව ඔවුන් ගාසා තීරයට බලහත්කාරයෙන් පැහැරගෙන යමිනි. එලිමහනේ පැවැති සංගීත සංදර්ශනයකට සටන්කාමීහු වෙඩි තැබූහ. එය සිත්පිත් නැති ප්‍රහාරයක් විය. එක් ඊශ්‍රායල තරුණියක පණ බේරා ගත්තේ මළසිරුරු අතරේ සැඟව සිටිමින් යැයි පසුව අනාවරණය විය.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ, හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ්ගේ රහසිගත මෙහෙයුමකට අනුව යැයි ඊශ්‍රායල බුද්ධි අංශ අනාවරණය කර ගත්තේ පසුගිය 11 වැනිදාය. මොහොමඩ් ඩියෙෆ් සැලසුම් කළ මෙහෙයුම දැන සිටියේ හමාස් සටන්කාමීන්ගේ මුල් පෙළ ජ්‍යෙෂ්ඨයන් පමණක් බවත්, මෙහෙයුමට සම්බන්ධ වූ හමාස් සටන්කාමී හරිහැටි ඒ ගැන දැන නොසිටි බවත් මේ වනවිට අනාවරණය වී අවසන්ය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය, ‘අල් අක්සා ෆ්ලඩ් ලෙස නම් කර ඇත්තේ ද මොහොමඩ් ඩියෙෆ් ය. ‘අල් අක්සා’ යනු ඊශ්‍රායලයේ මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලියට පැමිණෙන ඉස්ලාමීය බැතිමතුන්ට ඊශ්‍රායල හමුදාවෙන් පසුගිය කාලය පුරාවට විවිධ කෙණෙහිලිකම් සිදුවිය. ඊශ්‍රායල හමුදාව බල්ලියට කඩා වැදී වැටලීම් කළේය. ඊට පළි ගැනීමක් ලෙස ඩියෙෆ් ‘අල් අක්සා’ ප්‍රහාරය සැලැසුම් කළ බව ඊශ්‍රායල බුද්ධි අංශ තහවුරු කර තිබේ.

මේ වනවිට ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව පැවැසෙයි. ලෙබනන් ඊශ්‍රායල දේශසීමාවේ, ලෙබනන් හමුදාව, ඊශ්‍රායල හමුදා සමඟ අවි ගැටුම්වල නියැලෙයි. හමාස් සටන්කාමීන්ට සහාය දක්වන ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය, හැමවිටම සිටින්නේ අසාධාරණයට ලක්වන පලස්තීන වැසියන් සමඟය. මේ වනවිට සිරියානු රජයේ හමුදාව ද ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. සිරියාව සහ ඊශ්‍රායලය අතරේ විරසකයක් පවතින්නේ සිරියාවට අයත් ගෝලාන් කඳුකරය, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින බැවිනි. හමාස් සංවිධානයට ෂියා මුස්ලිම් ඉරානයේ ද සහාය හිමිවෙයි. එහෙත්, පසුගිය 7 වැනිදා හමාස් ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉරානය පවසා ඇත. ඒ බව ඉරානයේ පස මිතුරකු වන ඇමෙරිකාව ද සහතික කර තිබේ.

ලුසිත ජයමාන්න
අල් ජසීරා ඇසුරිනි

RECOMMEND POSTS