ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවන්න



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවන්නැයි ඉන්දියාව ඉල්ලීමක් කර ඇත.

කොංගෝ රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලවලට ප්‍රහාර එල්ල වීමෙන් පැය කිහිපයකට පසු ඉන්දියාව මෙම ඉල්ලීම කළේ ය.

ඉන්දියාව මේ වනවිට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකු නොවන අතර එම කවුන්සිලයේ ‘ඕනෑම කටයුත්තක්’ යටතේ මේ කරුණ සාකච්ඡාවට ගන්නැයි ඉන්දියාව ඉල්ලා ඇත.

කොංගෝ රාජ්‍යයේ දී සාමය පවත්වාගෙන යන ආරක්ෂක අංශවලට ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් ඉන්දියාවේ දේශසීමා ආරක්ෂක බලකාවලට අයත් ප්‍රධාන කොස්තාපල්වරුන් දෙදෙනකු සහ මොරොක්කෝවෝ සාමය පවත්වාගෙන ආරක්ෂක භටයකු මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත.

ශිෂුපාල් සිං සන්වාලා රාම් විශ්නෝයි යන අය මෙලෙස මියගොස් ඇති බව ද ඉන්දියාව සඳහන් කළේ ය.

ඉන්දියාවේ මැදිහත් වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රබල නිවේදනයක් ද නිකුත් කර තිබිණි. නිල් හිස්වැසුම් පළඳින්නන් මරණයට පත් කරමින් එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පැමිණිය යුතු යැයි එම නිවේදනයේ දැක්විණි.

කොංගෝ රාජ්‍යයේ සිටින එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුම්වලට නිරත පිරිසකට උතුරු කිවුහිදී ජූලි 26 වැනිදා මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.

ඉන්දියාවේ සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් ඉහත කී නිවේදනය නිකුත් කර තිබූ අතර එමඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ප්‍රහාරයෙන් ජීවිත හානි වූ සිවිල් වැසියන්ගේ පවුල්වලට, නිලධාරීන්ගේ පවුල්වලට සිය කනගාටුව ද තුවාල ලැබූ සිවිල් වැසියන් සහ සාමය පවත්වාගෙන යන්නන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සාමය පවත්වාගෙන යෑමේ මෙහෙයුම්වලට වැඩි වශයෙන් දායකත්වය දක්වන රටවල් අතර ඉන්දියාව ද ඉදිරියෙන් සිටියි.

පී.ටි.අයි.


RECOMMEND POSTS