ට්‍රම්ප්ගේ තර්ජනය සහාසිකයි



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද ගණනය කිරීම නවත්වන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනය ‘‘සාහසික’’ යැයි ජෝ බයිඩන් පවසා ඇත.

ජෝ බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නම් ඒ සඳහා ද සූදනම් බව එම කණ්ඩායම පවසා ඇත.

ඇමෙරිකානු ඉතිහාසයේ මීට කලින් නොවූ අයුරින් කටයුතු කිරීමට ජනාධිපති ට්‍රම්ප් සූදානම් වන්නේ නම් ඒ සඳහා සිය නීති කණ්ඩායම සූදානම් බව ද ජෝ බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරණ කණ්ඩායම සඳහන් කර ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා කවුදැයි තවමත් ප්‍රකාශයට පත් කර නැත.

‘‘ජනාධිපතිවරණයේ ඡන්ද ගණනය කිරීම නවත්වන බව ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය සාහසිකයි. ඉතිහාසයේ කවදාවත් එහෙම වෙලා නැහැ. ඒ වගේම එය වැරැදි’’ යැයි ජෝ බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරයේ කළමනාකරු වන ජෙන් ඕමැලි ඩිලන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘මේ සියල්ලටම මුහුණ දීමට අපේ නීතිඥ කණ්ඩායම සූදානම්’’ යැයි ඩිලන් කීය.

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කර ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (4) පෙරවරුවේ නිවේදනය කළේය.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු එලෙස තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඇතැයි ප්‍රකාශ කළ ද තවමත් අවසන් නිල ප්‍රතිඵලය නිකුත් වී නැත.

ඇමෙරිකාවේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරයේදී ඔහු ඒ බව පැවැසීය.

ජනාධිපතිවරණයේදී වංචාවක් සිදුව ඇතැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ නමුත් එය සනාථ කිරීම සඳහා ඔහු කරුණු ඉදිරිපත් නොකළේය.

‘‘මේක ඇමෙරිකාවේ මහජනතාවට කරපු වංචාවක්. මේක අපේ රටටප කරපු මහ නින්දාවක්’’ යැයි ද ජනාධිපති ට්‍රම්ප් කීය.

‘‘අපි මේ ඡන්දය දිනන්න යන්නේ. අපි මේ ඡන්දය දිනලා තියෙන්නේ’’ යැයි ද ට්‍රම්ප් පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තවමත් ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර නොමැති අතර තවත් තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ප්‍රතිඵල නිකුත් වීමට නියමිත ය. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරාගැනීමට බෙහෙවින් බලපාන මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය. මේවායේ ජයග්‍රහණය සඳහා තියුණු සටනක් තිබෙන බව ද පැවසේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කුමක් වුවත් තමන් එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන බව ද ට්‍රම්ප් කීය.

‘‘අපි ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ඡන්දය නවත්වන්න ඕනෑ’’ යැයි ද ට්‍රම්ප් කීය.

මෙම ප්‍රාන්තවල බලධාරීන් මේ වනවිටත් වලංගු ඡන්ද ගණනය කරන අතර ඊට දින ගණනක් ගතවනු ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කර ඇතැයි අපේක්ෂ්කයන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරනයෙන් තමන් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස බව ජෝ බයිඩන් සිය පාක්ෂිකයන් අමතමින් කීය.

ජනාධිපති ට්‍රම්ප් ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සිය පාක්ෂිකයන් ඇමතීය. ‘‘අපි ජයග්‍රහණයේ මාවතට පිවිස ඉන්න බව මට විශ්වාස’’ යැයි ජෝ බයිඩන් එහිදි කීය.

‘‘අපි දැනගෙන හිටියා මේකට ටිකක් වෙලා යන බව. ඒත් අපි ඉදිරියෙන්’’ ඩෙලවෙයාර්හිදී බයිඩන් කීය.

ඉන් ටික වේලාවකට ට්‍රම්ප් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි. ‘‘අපි ඉදිරියෙන්. අපි දිනනවා. ඔවුන් අපේ මැතිවරණය හොරකම් කරනවා. අපි ඔවුන්ට ඉඩ දිය යුතු නැහැ’’ ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි. ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය එම ට්විටර් පණිවුඩය දුස් තොරතුරක් ලෙස නම් කර තිබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS