ට්‍රම්ප් දිනුවොත් ෆවුචි ගෙදර



ඇමෙරිකා ජනාධිපතිවරණයෙන්, තවත් සිවු වසරක කාලයක් සඳහා ජනපති ධුරය හෙබවීමට, ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුවහොත්, එරට වසංගත රෝග මර්දන විද්‍යා ආයතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචිට එම තනතුර අහිමි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපති ට්‍රම්ප් සහ වෛද්‍ය ෆවුචි අතරේ මත ගැටුම් පැවැතීම ඊට හේතුව වී තිබේ. ෆවුචි ඇමෙරිකා වසංගත රෝග මර්දන විද්‍යා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ 1984 වසරේ සිටය.

ඇමෙරිකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමට පෙර සිට, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමටත්, වයිරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් ලබා දීමටත් වෛද්‍ය ෆවුචි කටයුතු කළත්, ට්‍රම්ප් නිරන්තරයෙන් එම උපදෙස් හෑල්ලුවට ලක් කළේය.

ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ජනපති ට්‍රම්ප්ගේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා බවත්, ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා බවත් චෝදනා එල්ල වී ඇති අතර, ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ජය පැරදුම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ද කොරෝනා වසංතයයි.

ජනාධිපතිවරණය පෙර පැවැති ජනරැලි කීපයක දී වෛද්‍ය ෆවුචි විශ්‍රාම ගැන්වීමට කාලය උදා වී ඇතැයි ද ජනපති ට්‍රම්ප් පවසා ඇත. ඇන්තනි ෆවුචි 79 හැවිරිදි වියෙහි පසුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS