ජයග්‍රහණය කළ බව බයිඩන් සහ ට්‍රම්ප් කියයි



ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමන් ජයග්‍රහණය කළ බවය.

ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ ඡන්ද ගණන් කරමින්, ප්‍රතිඵල නිකුත් වෙද්දී, අපේක්ෂකයන් දෙදෙනා තමන් ජයග්‍රහණය කළේ යැයි පැවැසූ පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

පළමුවෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය. අප ජයග්‍රහණයේ මාවකට එළැඹී සිටිනවා යැයි ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් හමුවේ බයිඩන් පැවැසුවේ, ඔවුන් දුන් සහාය වෙනුවෙන් තුති පුද කරමිණි. එම අවස්ථාවට බයිඩන්ගේ බිරිඳ ජිල් ද එක් වී සිටියාය.

බයිඩන්ගේ මෙම ප්‍රකාශය ට්‍රම්ප් කුපිත කිරීමට සමත් විය.

ඉන් පැය කීපයක් යද්දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් විය.

ජනපති ආර්යාව මෙලානියා, වත්මන් උප ජනාධිපති මෙන්ම, යළිත් එම ධුර අපේක්ෂා කරන මයික් පෙන්ස් සහ පෙන්ස්ගේ බිරිඳ ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය ලෙස මෙය සැලකෙයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකානුවන්ට අවස්ථාව ලැබුණු අතර, ජනාධිපතිවරණය දා වන විට මිලියන 100 ක ඡන්දය භාවිතා කර තිබුණි.

ධවල මන්දිරයේ මාධ්‍ය හමුව පැවැත්වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් අලුයම 2.15 ට පමණය.

මාධ්‍ය හමුවට රැස්වුණු මාධ්‍යවේදීන් හමුවේ ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේ, මෙවර මිලියන ගණනක් තමන්ගේ ජයග්‍රහණය සහිතක කිරීමට ඡන්දය ලබා දී ඇති නමුත්, අතලොස්සක් තම ජයග්‍රහණය උදුරා ගැනීමට උත්සාහ ගන්නා බවත්ය.

ෆ්ලොරීඩා ජනපදයේ තමන් අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණය කළ බව ට්‍රම්ප් එහිදී පැවැසුවේය. ඊට අමතරව, ටෙක්සාස්, ඔහියෝ, ජෝර්ජියා, උතුරු කැරොලිනා ජනපද පහසුවෙන් ජය ගත් බවත් ඒ අනුව තම ජයග්‍රහණය ස්ථිර බවත් ජනපති ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් මේ බව පවසද්දී තමත් ජනපත රැසක ඡන්ද ගණන් කෙරෙමින් පැවැතිණි. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඇතැම් ජනපද ගැන තමන්ට සැකයක් පවතින බැවින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු වහා නැවැත්වීමට තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබා ගැනීමට උත්සහ ගන්නා බවය.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විමතිය පළ කළහ. මීට පෙර ජනපති ධුරයේ සිටිමින්, ජනපති ධුර අපේක්ෂකයකු ලෙස ඡන්දයට ඉදිරිපත් වුණු කිසිදු අපේක්ෂකයකු මෙවැනි ප්‍රකාශයක් කර නොතිබීම ඊට හේතුවය.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලොව ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමයක් වන අතර, ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වීමට පෙර ට්‍රම්ප් ඡන්ද ගණන් කිරීම් නැවැත්වීමට උත්සාහ ගැනීමෙන් පෙනී යන්නේ ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාම අර්බුදයකට ලක් වී ඇති බව යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ‍.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS