ඇමෙරිකන් ඡන්ද සටන උණුසුම්



ඇමෙරිකන් ජනධිපතිවරණය අද (3) පැවැත්වෙයි.

ජනමත සමීක්ෂණ කුමන අනාවැකියක් පෙන්නුම් කළත්, ඇමෙරිකන් ජනාධිපතිවරණ සටන අවසන් මොහොත දක්වා ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇති බවත්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර තියුණු සටනක් පැවැත්වෙනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 

ජනමක සමීක්ෂණ අනුව, ඇමෙරිකානුවන් සියයට 80 කට වැඩි ප්‍රතිශතයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, කොරෝනා වසංගතය නිසි ලෙස කළමනාකරණය කිරීමට ට්‍රම්ප් පරිපාලනය අපොහොසත් වුණු බැවිනි.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත්තේ තමන් ජනපති ධුරයට පත්වුවහොත්, පළමු දිනයේ පටන් ජාතික වැඩපිළිවෙළක් යටතේ කොරෝනා පාලනයට යොමු වන බවය. එපමණක් නොව, කොරෝනා වසංගත තත්ත්වයක් ඇමෙරිකාවේ නිර්මාණය වීම සම්බන්ධයෙන්, ට්‍රම්ප්ට එරෙහිව නීතිමගින් පියවර ගන්නා බව ද 77 හැවිරිදි බයිඩන් පවසා ඇත.

74 හැවිරිදි ට්‍රම්ප්ට ද කොරෝනා වයිරසය ආසාදනය විය. කෙසේ නමුත් දින 3 ක් වැනි කෙටි කාලයකදී ට්‍රම්ප් සුවය ලබා සිය පාක්ෂිකයන් අතරට ගියේ කොරෝනා පරාජය කළ ඇමෙරිකන් ජනාධිපති ලෙසිණි. ට්‍රම්ප් ඉක්මණින් සුවය ලැබුවේ, වෛද්‍යවරුන් ඔහුට පර්යේෂණ මට්ටමේ ඖෂධ ලබා දුන් බැවිනි.

වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බයිඩන් සහ ඩිමොක්‍රටික්වරුන් ජන රැලි සීමා කළත්, ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පසුගිය තෙදින තුළ පැවැත්වූ ජන රැලි ගණන 40 කට වැඩිය. තීර්ණාත්මක ජනපද කීපයක එම ජන රැලි පැවැත්වුණු අතර, ඊට රැස්වුණු පිරිස අනුව, බයිඩන්ට ට්‍රම්ප්ගෙන් අභියෝගයක් එල්ල වනු නිසැක යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සමීක්ෂණ අනුව, ජෝ බයිඩන් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව පැවැසෙන නමුත් ඊයේ දිනයේ කළ ජනමත සමීක්ෂණ අනුව, බයිඩන් ඉදිරියෙන් සිටින්නේ සියයට 3 ක ප්‍රතිශතයකිනි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇමෙරිකානුවන්ට කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණි. ට්‍රම්ප් සහ බයිඩන් දෙදෙනා කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළහ. එසේ කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළ ඇමෙරිකානුවන් ගණන මිලියන 92 කි. තැපැල් ඡන්ද ද සැලකිල්ලට ගැනීමේ දී එම ගණන මිලියන 100 කට ආසන්න බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS