බොරු මෙහෙයුමට යන පියුමි
හිරුගෙන් පසු පිළිවෙළින් බුද, සිකුරු සහ පෘථිවිය පසු කළ විට, සිවුවැනි ග්‍රහලෝකය අඟහරුය. අඟහරු රතු ග්‍රහයා යනුවෙන් ද හැඳින්වෙයි. ඊට හේතුව, අඟහරු ග්‍රහයා රාත්‍රී අහසේ දකින්න ලැබෙන්නේ රතු මිශ්‍ර තැඹිලි වර්ණයෙනි. අඟහරුට මෙසේ රතු පැහැයක් ලැබී ඇත්තේ, අඟහරු මතුපිට පස්වල ඇති යකඩ ඛනිජ සහ දූවිලි නිසාය. අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝකවලට වඩා, තාරකා විද්‍යාඥයන් අඟහරගැන උනන්දුවක් දක්වන්නේ ඈත අතීතයේ සිටය. අඟහරු පෘථිවිය මෙන්ම, හිරුට වඩාත් ළංව හෝ වඩාත් ඈත් හෝ පිහිටන්නේ නැති බැවින්, අඟහරු ජීවය පැවැතීමට සුදුසු ස්ථානයකි. කෙසේ නමුත් අඟහරු අධ්‍යයනය කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ අඟහරු වියලි ශුෂ්ක ගුහලොවක් බවය.
වසර ගණනක අඟහරු ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ජීවය පැවැතීමට අවශ්‍ය සාධක අඟහරු මතුපිට ඇති බවත්, අතීතයේ ජීවය පවතින්න ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහසය. අඟහරු ගවේෂණයේ ප්‍රමුඛයා ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ඉන්දියාව පවා ‘මංගල්යාන්’ යනුවෙන් නම් කළ රොබෝ ගවේෂණ යානයක් අඟහරු කක්ෂයට යවා දත්ත ලබා ගෙන ඇත. නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ කක්ෂයට කක්ෂීය යානා පමණක් නොව, අඟහරු ග්‍රහයා මතට පතිත කරවන යානා සහ රොබෝ රෝවර් යානා ද ගොඩබෑමට සලස්වා දත්ත ලබා ගෙන ඇත. නාසා ආයතනයේ ‘පර්සිවරන්ස්’ වැනි රොබෝ යානා ඔබ මේ ලිපිය කියන මොහොතේ පවා අඟහරු මතුපිට ගවේෂණයේ යෙදෙයි. ඒ, ජීවය ඇති බවට හෝ ජීවය පැවැති බවට හෝ සාක්ෂි සොයමිණි.
2025 වසරෙන් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට ගගනගාමීන් යැවීමට සූදානම් වෙයි. ඒ, ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව යටතේය. පළමු වරට කාන්තාවක, සඳට පය තැබීම සිදුවනු ඇත්තේ ද ‘ආටිමිස්’ මෙහෙයුම් යටතේය. 2030 වසර වනවිට සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. සඳ මතුපිට ජනාවාස පිහිටුවීමෙන් පසු, නාසා ආයතනය අඟහරු දෙසට නෙත් හෙලනු ඇත. රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන්, අඟහරු මතට ගගනගාමීන් කණ්ඩායමක් යැවීමටත්, අඟහරු මතුපිට මිනිස් වාසයට සුදුසු අයුරින් පරිසරය (වායු ගෝලය) පවා සකස් කර, ගගනගාමීන් අඟහරු ලොවේ පදිංචි කරවීමටත් නාසා මේ වනවිටත් සැලැසුම් සකස් කර අවසන්ය. අඟහරු ග්‍රහයාට යෑමට ශක්තිමත් ප්‍රබල රොකට්ටු සහ අභ්‍යවකාශ කැප්සියුල නිර්මාණය වෙමින් පවතී. ලොව බිලියනපති ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ සඳ ජයගෙන ඉන්පසු අඟහරු ජය ගැනීමේ අපේක්ෂාවෙනි. තමන් තම ජීවිතයේ අවසන් කාලය අඟහරු මතුපිට ජනපදයක ගත කිරීමට බලාපාරොත්තු වන බවත්, තමන් පෘථිවිය හැර අඟහරු යන්නේ යළි නොඑන්න බවත් ඉලොන් මස්ක් පවසා ඇත.
සඳට යෑම ද පහසු නැත. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ සඳට යෑම එසේ මෙසේ වික්‍රමයක් නොවෙයි. එය අත්හදා බැලීම් රැසක ප්‍රතිඵලයකි. ඉන් වසර පනස් ගණනකට පසු අද තාක්ෂණය දියුණු වුවත්, ‘ආටිමිස්’ මෙහෙයුම යටතේ යළි සඳට ගගනගාමීන් යැවීම ද නාසා ආයතනයට අභියෝගයකි. අඟහරු මතුපිටට ගගනගාමීන් යැවීම ඊටත් වඩා අභියෝගයකි. එය කායික සහ මානසික අභියෝගයකි. අඟහරු ගමනකදී ගගනගාමීන්ට මුහුණ දීමට සිදුවන කායික සහ මානසික ගැටලු සොයා බැලීමට පුහුණු මෙහෙයුම් එසේත් නැතිනම් ‘අඟහරු යන බොරු මෙහෙයුම්’ ක්‍රියාත්මක වෙයි. පෘථිවියේ සිට අඟහරු යෑමට මාස කීපයක් ගතවෙයි. නාසා ආයතනය විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුමක් ඇති විද්‍යාඥයන් තෝරා ගනිමින්, ගගනගාමීන් ලෙස ඔවුන් මෙම ‘අඟහරු යන බොරු මෙහෙයුම්’වලට සම්බන්ධ කර ගනී.
නාසා ආයතනය සතුව, ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර, ජොන්සන් ස්පේස් මධ්‍යස්ථානය පිහිටයි. මෙම මධ්‍යස්ථානයේදී නාසා ආයතනය, ගගනගාමීන් බොරු අභ්‍යවකාශ මෙහෙයුම් පවත්වමින්, දත්ත රැස් කරයි. ජොන්සන් ස්පේස් සෙන්ටර් මධ්‍යස්ථානයේ එක් අංගනයක ‘හේරා’ HERA නමින් විශේෂ සිලින්ඩරාකාර කොටසක් ද සහිත අසාමාන්‍ය හැඩයේ කුඩා කොටසක් නිර්මාණය කර තිබේ. HERA යනු මානව ගවේෂණ පර්යේෂණ ඇනලොග් Human Exploration Research Analog යන අරුථය. ‘හේරා’ එක්තරා ආකාරයක වර්ග අඩි 650 ක ප්‍රමාණයේ පර්යේෂණාගාරයක් යැයි කීවොත් නිවැරදිය.
HERA හි එක් කොටසක නිර්මාණය කර ඇත්තේ කැප්සියුලයක ඇතුළතය. අනෙක් කොටසේ ඇත්තේ අඟහරු මතුපිට නිර්මාණය කෙරන ආකාරයේ කුඩා නිවසක් සහ පර්යේෂණාගාරයකි. HERA යනු සිවු දෙනකුට ඉඩ පහසුකම් ඇති ස්ථානයකි. නාසා ආයතනය මාස කීපයකට සැරයක් විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන් සිවු දෙනකු තෝරා ඔවුන් දින 45 කට HERA තුළට යවයි. ඉන්පසු දොර ලොක් කර සීල් තබයි. මෙම කාලයේ එම විද්‍යාඥයන් සිවු දෙනා (ගගනගාමීන් ලෙස ද පුහුණුව ලැබූ) HERA තුළ ඇති ගගන කැප්සියුලයට නැගී අඟහරු ග්‍රහයා වෙත යයි. ඔවුන් අභ්‍යවකාශයේ ගමන් කරන ආකාරය පරිගණක තිරවලින් ඔවුන්ට දකින්න ලැබේ. පෘථිවියේ පාලන මැදිරියක් සමඟ ද ඔවුන් සම්බන්ධ වී, සැබෑ අත්දැකීමකට සමාන අත්දැකීමක් ලබා ගනී. ඉන්පසු අඟහරු මතුපිට ගොඩබෑම සිදු කරයි. පෘථිවියේ සිට අඟහරුට පණිවුඩ යැවීම සිදුවන්නේ මිනිත්තු 5 ක ප්‍රමාදයකිනි. පාලන මැදිරියෙන් යවන පණිවුඩ HERA තුළ සිටින විද්‍යාඥයන් සිවු දෙනාට ලබා දීම සිදු කරන්නේ ද මිනිත්තු 5 කින් පසුවය. හුදෙකලා වී, කොටු වී, අඟහරු යන ගමනවකට සහභාගී වීම, ඒ අතරතුරේ පර්යේෂණ සිදු කිරීම HERA තුළට යන විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි.
පසුගිය කාලය විද්‍යාඥයන් කණ්ඩායම් කීපයක් මෙම ‘අඟහරු යන බොරු මෙහෙයුම්’ වලට දායක වී අවසන්ය. ලබන මැයි 10 වැනිදා තවත් HERA මෙහෙයුමක් ආරම්භ වන අතර, ඊට සහභාගී වන විද්‍යාඥයන් තිදෙනා කවුරුන්දැයි නාසා ආයතනය පසුගිය දා ප්‍රකාශයට පත් කළේය. ඔවුන්ගෙන් එක් අයකු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියක වීම අපට සැබැවින්ම ආඩම්බරයකි. ඇය පියුමි විජේසේකර ය. පියුමි සමඟ අඟහරු යන බොරු මෙහෙයුමට සහභාගී වන සෙසු විද්‍යාඥයන් තිදෙනා වන්නේ, ජේසන් ලී, ස්ටෙෆනි නවරෝ, ෂරීෆ් අල් රොමයිති ය. ලබන මැයි 10 වැනිදා HERA තුළට ගොස් හුදෙකලා වී, අඟහරු යන මෙහෙයුමට සම්බන්ධ වන මොවුන් සිවුදෙනා යළි පිටතට පැමිණෙන්නේ ජූනි 24 වැනිදාය. ඒ, අඟහරු ගොස් ආපසු පෘථිවියට පැමිණීම සනිටුහන් කරමිණි.
පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් වැලි හි ‘NASA Ames’ පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි. මිනිස් ශ්වසන පද්ධතියට, අයනීකරණ විකිරණ සහ සඳ මතුපිට දූවිලි අංශුවලින් එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පියුමි විජේසේකර විශේෂ අධ්‍යයන රැසක් සිදු කර තිබේ. ඇය මෙම බොරු මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ අඟහරු යන ගමනකදී ගගනගාමීන්ට කායිකව සිදුවන බලපෑම් මොනවාදැයි හඳුනා ගැනීමටය.
පියුමි, සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන් හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත. පියුමි කඳ සෛල (ප්‍රාථමික සෛල) සහ ඉන්ද්‍රිය ඉංජිනේරු විද්‍යාව කෙරෙහි ද උනන්දුවක් දක්වන විද්‍යාඥවරියකි. නාසා වෙබ් අඩවියේ ඇති තොරතුරු අනුව, පියුමි ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරය. ඇය පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට, පොත් කියවීමට, කඳු නැගීමට සහ විවිධාකාරයේ ආහාරවල රස බැලීමට ප්‍රිය කරන්නීය. සමාජ සේවා කටයුතුවල ද ඇය නියැලෙයි.
පියුමි සමඟ මෙම බොරු මෙහෙයුමට සහභාගී වන ජේසන් ලී, කනෙනිකට් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික, අභ්‍යවකාශ සහ නිෂ්පාදන ඉංජිනේරු පාසලේ සහකාර මහාචාර්යවරයෙකි. ස්ටෙෆනි නවරෝ, එක්සත් ජනපද ගුවන් හමුදාවේ අතිරේක බලඇණියට අයත් අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ නිලධාරිනියකි. ඒමිරේට්ස් ජාතිකයකු වන ෂරීෆ් අල් රොමයිති, ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 1 6කට වැඩි පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙකි. බොරු මෛහයුමේ නියමුවා ලෙස කටයුතු කරන්නේ මොහුය. ෂරීෆ් අල් රොමයිති, ගුවන් සේවා පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් ලොව ලාබාලතම සහ අටවැනි උපාධිධාරියාය. ෂරීෆ් අල් රොමයිති එක්සත් රාජධානියේ අබුඩාබි පදිංචිකරුවෙකි. ඔහු නාසා ආයතනයේ මෙම වැඩසටහන එක් වන්නේ එමිරේට්ස් අභ්‍යවකාශ වැඩසටහන හරහාය.
ස්තුතිය - නාසා ආයතනයට