හඳට වැටෙන රොකට්ටුව



ඇමෙරිකාවේ 'නාසා' ආයතනය සූදානම් වන්නේ යළිත් වරක් සඳ තරණය කිරීමටය. මෙවර පිරිමියකු පමණක් නොව ගැහැනියක ද සඳට යවන බවත්, ඒ සඳහා සුදුසු ගගනගාමීන් තෝරා පුහුණුව ලබා දෙන බවත් 'නාසා' කියයි.

එපමණක් නොව, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ද 'නාසා' ආයතනය උනන්දු වෙයි. ඒත් මේ සියලු දේ අද හෙට සිදුනොවෙයි. මේවා සිදුවන්නේ 2024 වසරෙන් පසුවය. පසුගිය දා සඳට මුහුණ දීමට සිදුවන අකරතැබ්බක් ගැන 'නාසා' පැවැසීය. මීට වසර කීපයකට පෙර ඇමෙරිකාවෙන් අභ්‍යවකාශයට ගිය රොකට්ටුවක ටොන් ගණනක් බර කැබැල්ලක් ටිකෙන් ටික සඳට සමීප වෙමින් පවතින බවත් තව මාස දෙකකින් පමණ එම කොටස සඳට කඩා වැටෙනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ කතාව ඇරැඹෙන්නේ 2015 වසරෙනි. ඒ වනවිට, ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම, ඔවුන්ගේ 'ෆෝල්කන් 9' රොකට්ටු නිපදවීම අතින් මූලික අදියරේ පසුවිය. අද ඇමෙරිකාවේ අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන් පමණක් නොව පෞද්ගලික ගගන සංචාර සම්බන්ධයෙන් ද පෙරමුණින් පසුවන්නේ 'ස්පේස් එක්ස්' සමාගමය. අභ්‍යවකාශ නැවැතුම්පොළට ගගනගාමීන් රැගෙන යන්නේ 'ස්පේස් එක්ස්' රොකට්ටු සහ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලවලිනි. 2024 සඳ ගමන සිදුවන්නේ ද 'නාසා' ආයතනය සහ 'ස්පේස් එක්ස්' සමාගමේ එකමුතුවෙනි.

ඒත් එදා, එනම් 2015 දී 'ස්පේස් එක්ස්' අභියෝග ජය ගනිමින් නැගීසිටීමට උත්සාහ කළ කුඩා සමාගමක් විය.
ඇමෙරිකා ජාතික සාගර සහ වායුගෝල පරිපාලන අධිකාරිය National Oceanic and Atmospheric Administration (NOAA), 2015 වසර වනවිට සුවිශේෂී ආකාරයේ චන්ද්‍රිකාවක් නිපදවා තිබුණි. මෙය පෘථිවියට ඔබ්බෙන් ඈත අභ්‍යවකාශයේ රැඳවීමට සකස් කරන ලද චන්ද්‍රිකාවකි. ඇමෙරිකා ජාතික සාගර සහ වායුගෝල පරිපාලන අධිකාරිය, ඔවුන්ගේ මෙම චන්ද්‍රිකාව නම් කළේ අභ්‍යවකාශයේ ඈත සිට දේශගුණික වෙනස්වීම් නිරීක්ෂණය කරන්නා හෙවත් Deep Space Climate Observatory (DSCOVR) යන නමිනි. 'ගෝර් සැට්' GoreSat යන නිල නොවන නාමයෙන් හැඳින්වෙන්නේ ද මෙයයි.

'ස්පේස් එක්ස්' සමාගම සහ ඇමෙරිකා ජාතික සාගර සහ වායුගෝල පරිපාලන අධිකාරිය, DSCOVR චන්ද්‍රිකාව නිසා එකිනෙකා සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙය 'ස්පේස් එක්ස්' සමාගමට හිමිවුණු සුවිශේෂී අවස්ථාවක් විය. එහෙයින්, අත්වැරදීමකට ඉඩක් තිබුණේ නැත. අත්හදා බැලීම් රැසකින් පසු 'ස්පේස් එක්ස්' සමාගමේ අධි බලැති 'ෆෝල්කන් 9' රොකට්ටුව, DSCOVR චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට ලකලෑස්ති කෙරුණි. සියල්ල සිදුවූයේ නාසා ආයතනයේ ද අධීක්ෂණය යටතේය.

2015 පෙබරවාරි 11 වැනිදා කැනැවරල් තුඩුවෙන්, 'ස්පේස් එක්ස් ෆෝල්කන් 9' රොකට්ටුව උඩු ගුවන බලා ගියේ, DSCOVR රැගෙන ය. සියයට 100 ක් සාර්ථක ලෙස ක්‍රියාකාරී වූ, අභ්‍යවකාශයේ ඈතට යැවුණු පළමු 'නිරීක්ෂණ චන්ද්‍රිකාව' DSCOVR ය. හිරුගෙන් නිකුත් වන පෘථිවියට පැමිණෙන සූර්ය චුම්බක කුණාටු ගැන කල්තියා අනතුරු ඇඟවීම් කළ හැකි චන්ද්‍රිකාව බවට පත් වූයේ ද DSCOVR ය.

'ෆෝල්කන් 9' රොකට්ටුව, පෙබරවාරි 11 වැනිදා උඩු ගුවන බලා ගියේ එහි ප්‍රබල බූස්ටර් දල්වා ගනිමිනි. පෘථිවි වායුගෝලයට ගොස් එතැන සිට කිලෝ මීටරයක් දුර ගමන් කරමින් 'ෆෝල්කන් 9' රොකට්ටුව, රැගෙන ආ DSCOVR චන්ද්‍රිකාව අභ්‍යවකාශයට මුදා හැරිය අතර, DSCOVR චන්ද්‍රිකාව ඊට ලැබුණු උපදෙස් අනුව, අභ්‍යවකාශයේ රැදුණි.

සාමාන්‍යයෙන් රොකට්ටුවක කාර්යය, අභ්‍යවකාශ යානා හෝ චන්ද්‍රිකා හෝ පෘථිවි ගුරුත්ව බලයෙන් මුදා ගෙන පෘථිවි කක්ෂයට තල්ලු කිරීමය. පෘථිවි කක්ෂයට යද්දී සහ ගිය පසු රොකට්ටුව අදියර කීපයකදී කැඩි වෙන්වී පහළට වැටේ. එම කොටස් වැටෙන්නේ සාගරයට වන අතර, යළි භාවිතයට ගත හැකි කොටස් නාවික හමුදාව විසින් එකතු කර ගනු ලබයි.
DSCOVR චන්ද්‍රිකාව අභ්‍යවකාශයේ ඈතින් ස්ථානගත කිරීමට සිදුවුණු බැවින් 'ස්පේස් එක්ස් ෆෝල්කන් 9' රොකට්ටුව, අභ්‍යවකාශයේ ඈතට ගියේය. රොකට්ටුවෙන් වෙන් වුණු බූස්ටර් කොටස් පෘථිවි වායුගෝලය ආසන්නයේ නොතිබුණු බැවින්, ඒවා යළි පෘථිවියට වැටුණේ නැත.

ඒවා අභ්‍යවකාශ කසළ ලෙස අභ්‍යවකාශයේ පාවෙමින්, පසුගිය වසර 7 ක් තිස්සේ පෘථිවි කක්ෂයේ රැඳී තිබුණේ අභ්‍යවකාශ නැවැතුම්පොළට, චන්ද්‍රිකාවලට සහ ගගනගාමීන්ට තර්ජනයක් වෙමිනි.

කොස් නමුත් දැන්, ගණනය කිරීම් අනුව, විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එලැඹෙන 2022 මාර්තු 4 වැනිදා 'ස්පේස් එක්ස් ෆෝල්කන් 9' රොකට්ටුවේ ටොන් 4 ක් බර බූස්ටර් කොටස සඳ මතුපිටට වැටෙනු ඇති බවය. රොකට් බූස්ටර් කොටස, සඳ මතුපිටට වැටෙනු ඇතැයි පළමුවෙන් අනාවැකි කීවේ විද්‍යාඥ බිල් ග්‍රේ ය. මොහු පෘථිවිය ආසන්නයට පැමිණෙන ග්‍රහ වස්තු නිරීක්ෂකයෙකි. එවැනි ග්‍රහ වස්තුවල ගමන් මාර්ග ගණනය කිරීමට බිල් ග්‍රේ, 'ප්‍රොජෙක්ට් ප්ලූටෝ' නමින් මෘදුකාංගයක් ද නිපදවා තිබේ.

('ද සන්' ඇසුරිනි)


RECOMMEND POSTS