සමාජ මාධ්‍ය ලොක්කන්ට චෝදනා



අප සෑම කෙනකුම අත ජංගම දුරතකනයක් ඇති මේ කාලයේ, සමාජ මාධ්‍ය අපගේ ජීවිතයේ නැතිවම බැරි අංගයක් වී අවසන්ය. තම තමන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ක්‍රමය සමාජ මාධ්‍ය බවට පත් වී හමාරය. සමාජ මාධ්‍ය අපගේ ජීවිතවලට සිදු කරන බලපෑම සුළුපටු නොවෙයි.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නියාමනයක් සිදුවිය යුතු බව, පසුගිය වසර ගණනාව පුරා, ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ එසේත් නැතිනම් ඇමෙරිකන් කොංග්‍රසයේ වාද විවාදයට හේතුවක් විය. ඇමෙරිකන් කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩල විශේෂ විමර්ශන කමිටු අවස්ථා ගණනාවකදී සමාජ මාධ්‍ය ප්‍රධානීන් ගෙන්වා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කරුණු විමසුවේය. පසුගිය දා සෙනෙට් මණ්ඩල විශේෂ විමර්ශන කමිටුවක් රැස්වූයේ ලොව ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානීන් එම කමිටුව ඉදිරියට කැඳවමින් ප්‍රශ්න කරමිණි.

ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම ෆේස්බුක් ඇතුළු මෙටා සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් විසින් මිලදී ගනු ලැබ ඇති එක්ස් (ට්විටර්) ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් චැට් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන්, ආදිහු සෙනෙට් කමිටුව ඉදිරියේ පෙනී සිටියහ.

සෙනෙට් මණ්ඩල විශේෂ විමර්ශන කමිටුවක් රැස්වී, කරුණු කාරණා විභාග කිරීමට, සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානීන් ඔවුන් අබියසට කැඳවීම කළේ, මෙම සමාජ මාධ්‍ය සමාගම්, ලාභ ලැබීමේ අරමුණින්, නිසි ආරක්ෂණ ක්‍රමවේද කිසිවක් හඳුන්වා නොදීම හරහා දරුවන්ට ලිංගික සූරාකෑමට සම්බන්ධයෙන්, මාපියන් සහ මානසික සෞඛ්‍ය විශේෂඥයන් කනස්සල්ල පළ කළ බැවිනි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දරුවන් විවිධ අපයෝජනයට ලක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එසේ වීම එය වළක්වාලීමට සමාජ මාධ්‍ය සමාගම් අපොහොසත් වී ඇති බවත් සෙනෙට් කමිටු සාමාජිකයෝ සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන්ට පෙන්වා දුන්හ. එමෙන්ම, විශේෂ විමර්ශන කමිටුව, සමාජ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේ, සමාජ මාධ්‍ය සමාගම් සමාජයේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය වෙනුවෙන්, සමාජ මාධ්‍ය නියාමනයට, නිසි ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා නොදෙන්නේ නම්, කොංග්‍රසය මැදිහත් වී හැකි ඉක්මනින් සුදුසු නීති සම්මත කරන බවය.

—සකර්බර්ග් මහත්මයා, ඔබ මෙන්ම සෙසු සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් අප ඉදිරියේ සිටිනවා. මෙවැනි චෝදනාවක් ඔබටත් ඔබේ සමාගම්වලටත් එල්ල වේවි යැයි ඔබ බලාපොරොත්තු වුණේ නැහැ. ඔබ කවුරුවත් මේ දේවල් සිතාමතා කළා නොවෙයි. නමුත් ඔබ සැමගේ අත්වල ලේ ගෑවිලා. ඔබ සියලු දෙනා වරදකරුවන් වී අවසන්.” යැයි විශේෂ විමර්ශන කමිටුවේ එක් සාමාජිකයෙක් වූ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පැවැසීය. රිපබ්ලිකන් සෙනෙට් ලින්ඩ්සේ ග්‍රැහැම්ගේ දැඩි විවේචනයට ෙසකර්බර්ග් ලක්විය.

විමර්ශන කමිටුවේ තවත් සාමාජිකයකු වූ සෙනෙට් සභික ඩික් ඩර්බින්, දත්ත ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, මූල්‍යමය වාසි පෙන්වා, සමාජ මාධ්‍ය ඔස්සේ බාල වයස්කරුවන් ව රවටා ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ගෙන්වා ගැනීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බවය. 'ළමා ලිංගික සූරාකෑමේ බලාපොරොත්තු නොවන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එය සිදුවන්නේ එක් කරුණක් ඒ කියන්නේ තාක්ෂණයේ වෙනස්කම් නිසා. සමාජ මාධ්‍ය නිසා.' යැයි සෙනෙට් සභික ඩර්බින් පැහැදිලි කළේය.

විමර්ශන කමිටුව රැස්වුණු අවස්ථාවේදී, කටයුතු ආරම්භ වූයේ වීඩියෝ දසුන් පෙළක්, සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් හමුවේ දිග හැරෙමිනි. එම වීඩියෝව සෙනෙට් විමර්ශන කමිටුව විසින් එළිදක්වනු ලැබුණි. එහි අන්තර්ගත වූයේ විවිධ බාලවයස්කාර දරු දැරියන්, සමාජ මාධ්‍ය හේතුවෙන් ලිංගික හිංසනයට ලක් වූ ආකාරය සම්බන්ධවය. එසේ ලිංගික හිංසනයට ලක්වුණු දරුවන්ගේ මාපියන් කීප දෙනකු ද සෙනෙට් මණ්ඩල විමර්ශන කමිටුව කරුණු විභාග කරද්දී, එම ස්ථානයට පැමිණ සිටියහ.

 

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වල හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය අදහස් දැක්වීම ආරම්භ කරද්දී, මාපියෝ පිරිසක් ඔහුට විරෝධය පළ කරන්න වූහ. එම අවස්ථාවේදී කමිටුවේ සිටි සෙනෙට් සභික ජෝෂ් හව්ලි, සකර්බර්ග්ට අභියෝග කළේ එහි සිටි මාපියන්ට ඝෘජුවම කනගාටුව ප්‍රකාශ කරන ලෙසටය. එම අවස්ථාවේදී, එම දරුවන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් මෙන්ම මාපියන් පත් වූ කනස්සල්ල සම්බන්ධයෙන් ද මාර්ක් සකර්බර්ග් කනගාටුව පළ කළේය. යළි එවැනි තත්ත්වයක් ඇතිවීමට තමන් ඉඩ නොදීමට පියවර ගන්නා බවත්, ඒ ගැන තමන් සමාව ඉල්ලා සිටින බවත් මාර්ක් සකර්බර්ග් වැඩි දුරටත් කියා සිටියේ ඉතා සංවේගයට පත් වෙමිනි.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS