යානා අනතුරින් මියගිය ගණන නිශ්චිත නෑ



පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් PK8303 නමැති මගී ගුවන් යානය කඩා වැටීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගීන් 91 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 08 දෙනකු සහිතව පියාසර කරමින් තිබූ එයා බරස A 320 දරණ යානය කරච්චි නගරයේ ජින්නා ගුවන් තොටුපො‍ළට ගොඩබෑමට උථ්සාහ කරද්දී මෙලෙස කඩා වැටී තිබේ.

මෙහි පළමු ගොඩබෑම අසාර්ථක වූ බැවින් යළිත් වටයක් ගොස් පැමිණීමේ දී එහි එන්ජිමක් ක්‍රියාවිරහිත වූ බවට යානය මගින් ගුවන් තොටුපොළ පාලක මැදිරියට දැනුම්දීමක් කර ඇත.

කෙසේ වෙතත් අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති අතර යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමෙන් අනතුරුව එය අධ්‍යයනය කර නිශ්චිත හේතුව සොයාගැනීමට හැකිවන බව ද අනතුර පිළිබඳ පර්යේෂණ සිදුකරන විශේෂඥයෝ කියති.

යානයේ ගමන් කරමින් සිටි දෙදෙනකු අනතුරින් දිවිගලවාගෙන ඇත. මෙලෙස දිවි ගලවාගත් මුහම්මද් සුබෙයාර් කියා සිටියේ යානය ඉතාමත් සුමට ලෙස ගමන් කරමින් තිබූ බවයි. අසාර්ථක වූ පළමු ගොඩබෑමත් යානය කඩා වැටීමත් අතර කාලය විනාඩි 10-15ක් පමණ වූ බවත් යානයේ කිසිවෙකු එය කඩා වැටෙන බව දැන නොසිටි බවත් හෙතෙම පවසයි.

යානය කඩා වැටී ඇත්තේ කරච්චි නගරයේ ඉතා ජනාකීර්ණ පෙදෙසකටය. සුන්බුන් අතර හිරවී සිටින තුවාල කරුවන් සහ මියගිය පිරිස් සොයා ඊයේ (22) දිනය පුරාම විශේෂ සෝදිසි කිරීම් සිදුකරමින් පැවතිණි.

 


RECOMMEND POSTS