නොරොච්චෝල බලාගාර සේවකයන් පරික්ෂණයට



නොරොච්චෝල‍ේ ලක්විජය බලාගාරයේ සේවකයන් පිරිසක් උණ ‍හා වෙනත් ‍රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර අනෙකුත් සේවයකන් ද නිවෙස් වෙත යාම වළක්වා ඇතැයි බලාගාරයේ බලාගාර කළමණකාරු පවසයි.

මෙලෙස රෝග ලක්ෂණ පෙන්වා ඇත්තේ  ගිනුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 09 දෙනෙකි. ඔවුන්ට උණ, කැස්ස හා උගුරේ අපහසුතා ඇතැයි ද පැවසේ. මේ හේතුවෙන් ඒ වනවිට බලාගාරයේ සේවයට වාර්තා කර සිටි 600කට ආසන්න සේවකයන් සංඛ්‍යාවක් නිවෙස් වෙත යාම වළක්වා ආරක්ෂිතව නේවාසිකාගාර තුළ රැඳවීමට කටයුතු කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්වූ සේවකයන්ගෙන් පුත්තලම මූලික රෝහලේ දී පීසීආර් බරීක්ෂණ සඳහා ජෛව සාම්පල රැගෙන ඇති බවත් ඔවුන් ද පසුව විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ රඳවා ඇති බවත් වාර්තා වේ.

රටතුළ පැවැති කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙහි සේවකයන්ගෙන් සියයට 30ක් පමණක් මාස දෙකකට වැඩි කාලයක් සේවයේ යොදවා තිබූ නමුත් දැනට දින කිහිපයක සිට සාමාන්‍ය පරිදි සේවක පිරිස් රාජකාරී සඳහා පැමිණීම ආරම්භ කර තිබිණි.

මේ පිළිබඳ විමසීමේ දී පුත්තලම මූලික රෝහ‍ේල අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා කියා සිටියේ ජෛව සාම්පල ලබාගත් පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ එතරම් බරපතල නොවන බවයි. එම වාර්තා අද (23) ලැබෙන බව ද හෙතෙම කීවේය.

කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධර්ම ශ්‍රී මධුමාල් මහතා මෙසේ කීවේය.

''මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගන්න වුවමනා නැහැ. ආරක්ෂිත පියවරයක් ලෙස සේවකයන් නිවෙස්වලට යැවීමෙන් වැළකී සිටියා. අද වාර්තා ලැබුණු පසු ඒ වාර්තා අනුව අවශ්‍ය පියවර ගන්නවා. "

 


RECOMMEND POSTS