ආර්මේනියා අගමැතිටත් පවුලේ අයටත් කොරෝනා



ආර්මේනියාවේ අග්‍රාමාත්‍ය නිකෝල් පෂීන්යන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇත.

‘‘මට රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. මම නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්න සැලැසුම් කර සිටියා. ඊට කලින් කොවිඩ්-19 පරීක්ෂණයකට යොමු විය යුතු යැයි මා තීරණය කළා’’ යැයි ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා කීය. සිය පවුලේ සියලු දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ආර්මේනියාවේ ජනගහනය මිලියන 3ක් වන අතර ඊයේ පස්වරු වනවිට එරට 9,402 දෙනකුට වයිරසය ආසාදනය වී තිබිණි. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 139ක් ලෙස දැක්විණි. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා ඉකුත් මාර්තු මාසයේදී රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර එම සීමා මැයි මස 4 වැනිදා ලිහිල් කළේය.

ආර්මේනියාව යනු සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රාජ්‍යයකි.

පසුගිය සතිය වනවිට ආර්මේනියාවේ රෝහල් කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගෙන් පිරී ගියේ ය. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර කරන්නේ ජීවත් වීමට වැඩි අවස්ථාවක් තිබෙන රෝගීන්ට පමණක් යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පසුගිය සතියේදී අනතුරු ඇඟවූහ.


RECOMMEND POSTS