අලුත බැඳපු ජෝඩුව: ’මීනක්ෂි සුන්දරේෂ්වර්’



ඇය රජිනිකාන්ත් රසිකාවියකි. සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගේ චිත්‍රපටයක් තිරගත වෙද්දී මංගල දර්ශනය නැරඹීමට සිනමාහලට ගොස් රජිනිකාන්ත් දකිද්දී කෑකෝ ගසමින් ඔල්වරසන් දෙමින් නටමින් චිත්‍රපටය රස විඳින තැනැත්තියකි.

ඔහු රජිනිකාන්ත් රසිකයෙකු නොවෙයි. ඔහු චිත්‍රපට බලන්නේ ද නැත. 'චිත්‍රපට බලද්දී මා නින්දට වැටෙනවා' යැයි ඔහු කියයි. ඇය පොත් කියවයි. පොත් කියවන්න ආසා කරයි. ඔහු කියවන පොතක් නැත. පොත් ගැන දන්නේ ද නැත. ඔහු දන්නේ පොත්වලින් 'ක්‍රිකට් සෙල්ලමක්' කිරීමට පමණි.

ඇය ජීවිතේ විඳින්න කැමැති, ආත්ම විශ්වාසයක් ඇති 'ස්මාට්' යුවතියකි. 'ස්මාට්' කඩවසම් තරුණයකු වුවත් ඔහු ජීවිතේ ගැන ඕනෑවට වඩා සිතයි. ඔහු පරිගණක ඉන්ජිනේරුවෙකි. ඔහුගේ ආශාව පරිගණක කේත (Coding) ය. එය කලාවක් ලෙස ඔහු දකී.

ඇය මීනක්ෂිය. 'මීනක්ෂි සුන්දරේෂ්වර්' චිත්‍රපටයේ කතා නායිකාව ඇයයි. ඔහු ඇගේ සැමියා සුන්දරේෂ්වර් ය. හාස්‍යමුසු සිදුවීම් පෙළකින් හමුවී, යෝජිත විවාහයකින් එකිනෙකාට ළං වී, අලුත් ජීවිතයක් අරඹන මීනක්ෂි සහ සුන්දරේෂ්වර්ගේ 'ආදර කතාව' 'මීනක්ෂි සුන්දරේෂ්වර්' චිත්‍රපටයට පාදක වෙයි.

දකුණු ඉන්දීය පුරාවෘතවලට අනුව, සුන්දරේෂ්වර් තමන්ගේ ආදරවන්තිය මිනක්ෂි සොයා ඇගේ ආදරය පතා මධුරායි පැමිණෙයි. සුන්දරේෂ්වර් යනු ශිව ය. මිනක්ෂි ශිවගේ ආදරවන්තිය පාර්වතී ය. දෙදෙනාගේ ඒ උතුම් ආදරයආදරය මුළුමහත් ඉන්දියාවම එක් කළ බව පැවැසෙයි. මධුරායි වඩාත් ප්‍රසිද්ධියක් උසුළන්නේ 'මීනක්ෂි සුන්දරේෂ්වර්' කෝවිල නිසාය. චිත්‍රපටය ඇරැඹෙන්නේ ද මේ බව පවසමිනි.

'මීනක්ෂි සුන්දරේෂ්වර්' කෝවිල ඉදි කර ඇත්තේ ද මීනක්ෂි සුන්දරේෂ්වර් ආදරය වෙනුවෙනි. 'මීනක්ෂි සුන්දරේෂ්වර්' චිත්‍රපටයේ යුවළ මීනක්ෂි සහ සුන්දරේෂ්වර්ගේ අහුඹු හමුවීම දේවාශිර්වාදයෙන් සිදුවූවක් ද? ඔවුන්ගේ අලුත් විවාහ ජීවිතය අභියෝගවලින් පිරි එකක් වන අතර එම අභියෝග ජය ගැනීමට ඔවුන්ට හැකිවේවිද? චිත්‍රපටය නරැඹීමට සිදුවන්නේ මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයන ගමන්ය.

මීනක්ෂි ලෙස සන්යා මල්හෝත්‍රා අපූරු රංගනයක යෙදන අතර, සුන්දරේෂ්වර්ගේ චරිතයට පණ පොවන්නේ අබිමන්යු දස්සානීය. විචාරකයන්ට අනුව, මොවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ චරිතවලට සාධාරණයක් ඉඩු කරයි. ඒ අඩුත් නැතිව වැඩිත් නැතිව සංවේදී ආකාරයට හැඟීම් නිරූපණය කරමිනි. දෙදෙනාම ඔවුනොවුන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් ඉටු කරන බව පෙනෙයි.

29 හැවිරිදි සාන්යා මල්හෝත්‍රා රංගනයට පිවිසුණේ 2016 වසරේදීය. ඇය ප්‍රකට හින්දි චිත්‍රපට නිළියක් ලෙසය. ඇගේ පළමු චිත්‍රපටය අමීර් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කළ Dangal (2016) ය. ඉන්පසු Badhaai Ho (2018) චිත්‍රපටයට ඇය එක් වූවාය. මෙම චිත්‍රපට දෙකම වාණිජමය වශයෙන් සාර්ථක වුණු චිත්‍රපටය.

Photograph (2019) චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානයට නිර්දේශ විය. Shakuntala Devi (2020) සහ Ludo (2020) චිත්‍රපටවල කළ රංගනය වෙනුවෙන් ද සාන්යා මල්හෝත්‍රා විචාරක පැසැසුමට ලක්වී සිටී.

දිල්ලියේ උපත ලබා හැදී වැඩුණු සාන්යා, සාම්ප්‍රදායික ඉන්දීය නර්තන කලාව මෙන්ම බැලේ නර්තන කලාව ද හදාරා ඇත. ඇය Dance India Dance ඉන්දීය නර්තන රියැලටි වැඩසටහනට ද ඉදිරිපත්වූ තරගකාරියකි. ඇය සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ අධ්‍යක්ෂ මුඛේෂ් චබ්රා හමුවීමෙන් අනතුරුවය.

 

අභිමන්නු දස්සනායි ද හින්දි සිනමා නළුවෙකි. 31 හැවිරිදි ඔහු සිනමා කර්මාන්තකයේ රැඳී සිටින්නේ 2018 වසරේ සිටය. ඔහුගේ පළමු චිත්‍රපටය Mard Ko Dard Nahi Hota (2018) ය. මොහු ඉන්දීය සිනමාවේ ප්‍රවීණ නිළියක වන භාග්‍යාශීගේ පුත්‍රයාය. මුම්බායි NMIMS විශ්ව විද්‍යාලය බොලිවුඩ් සිනමාවේ නැගී එන නළුවකු ලෙස අභිමන්නු දස්සනායි ඇගයීමට ලක් කර තිබේ.

'මීනක්ෂි සුන්දරේෂ්වර්' චිත්‍රපටය විවේක් සෝනිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ කතාව ද විවේක් සෝනිගෙනි. ප්‍රවීණ සිනමාකරුවකු වන කරන් ජොහාන් නිෂ්පාදකවරයකු ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී. මීනක්ෂි සුන්දරේෂ්වර්' මේ වනවිට Netflix හරහා නැරැඹිය හැකිය.

දකුණු ඉන්දීය සංස්කෘතිය මුසු දෙමළ චිත්‍රපටයක් වුවත් මෙය Netflix හරහා විකාශය වන්නේ හින්දි බසින් හින්දි චිත්‍රපටයක් ලෙසය. මෙය ආදර ප්‍රහසන චිත්‍රපටයකි. මිනිත්තු 141 ක් පුරා දිවෙන Netflix හරහා විකාශය ආරම්භ කෙරුණේ නොවැම්බර් 5 වැනිදා සිටය. 'මීනක්ෂි සුන්දරේෂ්වර්' රූගත කිරීම් ආරම්භ වූයේ 2020 නොවැම්බර් 25 වැනිදාය. 2021 පෙබරවාරි 10 වැනිදා වනවිට චිත්‍රපටයේ නිර්මාණ කටයුතු අවසන් විය.


RECOMMEND POSTS