සිරියානු ජනපති රුසියාවට සහාය පළ කරයි



යුක්රේනයේ, රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ගේ පාලනයට නතු වී පවතින ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණයට තමන් සහාය පළ කරන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පවසයි.

අසාද් රජය වෙනුවෙන් මෙසේ පැවැසුවේ, සිරියානු විදේශ අමාත්‍ය ෆයිසාල් මෙක්ඩාඩ් ය. සිරියානු අර්බුදයේ දී සිරියානු ජනාධිපති අසාද්ට දිගටම බලයේ රැදී සිටීමට හැකිවූයේ රුසියාවේ සහාය සිරියානු රජයටත් හමුදාවටත් ලැබුණු බැවිනි.

2011 වසරේ ආරම්භ වුණු සිරියානු සිවිල් යුද්ධයේදී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර බලවතුන්ගේ සහය හිමිවූයේ සිරියානු ජනාධිපති අසාද් නෙරපා දැමීමට සටන් වැදුණු කැරැලිකරුවන්ටය. එම කැරැලිකාරුවන් බිහිවූයේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වීමෙනි.

අද රුසියාව මුහුණ දෙන්නේ එදා සිරියාව මුහුණ දුන් ආකාරයේ අර්බුදයකට බවත්, රුසියාවට සිරියාවේ සහාය නොඅඩුව ලැබෙන බවත් සිරියානු රජය සහ ජනාධිපති අසාද් වෙනුවෙන් විදේශ ඇමැතිෆයිසාල් මෙක්ඩාඩ් පැහැදිලි කළේය.

රුසියාවට සහාය පළ කරමින් ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට සිරියානු ජනාධිපති අසාද් ද සූදානම් බව ද සිරියානු විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

මේ අතර, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වීය. එහිදී ඉන්දියාවත් චීනයත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ යැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

නිකර්ගුවාව, කියුබාව සහ වෙනිසියුලා ද රුසියාවට සහාය පළ කරමින් ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS