සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ප්‍රහාර



ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාකයේ සහ සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරානයේ සහාය ලබන කණ්ඩායම් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට අවසර දුන් දෙවැනි අවස්ථාව මෙය වේ.

මීට ප්‍රතිචාර දක්වන බව මෙම සන්නද්ධ කණ්ඩායම් දැනටමත් ප්‍රකාශ කර ඇත.

සන්නද්ධ කණ්ඩායම්වලට මෙහෙයුම් සහ ආයුධ ගබඩා කර තිබෙන ස්ථාන ඉලක්ක කරගනිමින් මෙලෙස ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ඉරිදා පැවැසීය.

සිරියාවේ ස්ථාන දෙකකටත් ඉරාකයේ එක් ස්ථානයකටත් මෙලෙස ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේය.

ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා සහ කඳවුරුවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රතිචාර එල්ල කළ බව ඇමෙරිකාව සඳහන් කළේය.

මෙම ප්‍රහාරවලින් කවුරුන් හෝ මියගිය ද තුවාල ලැබුවේ ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදා කිසිවක් සඳහන් නොකළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් මෙම ප්‍රහාරවලින් සටන්කාමීන් පස්දෙනකු මියගොස් ඇති බවත් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බවත් මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.

මෙම ගුවන් ප්‍රහාරවලින් දරුවකු සහ තවත් තිදෙනකු මියගොස් ඇතැයි සිරියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති සේවයක් වන ‘සානා’ ප්‍රවෘත්ති ආයතනය සඳහන් කළේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් පරිදි මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද වාර්තා වේ. ඉරානයේ සහාය ලබන සටන්කාමීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්නැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා අවසර දුන් දෙවැනි අවස්ථාව මෙය වේ. ඉකුත් පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු හමුදා සිරියාවේ ඉලක්ක කිහිපයකට ගුවනින් බෝම්බ හෙළීය.

අල්ජසීරා


RECOMMEND POSTS