රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුවක්



රුසියන් යුක්රේන විදෙස් අමාත්‍යවරුන්ගේ හමුවක් හෙට (9) තුර්කියේ අන්කාරා නුවරදී පැවැත්වීමට නියමිතය.

රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින්, සාමකාමීව විසඳා ගැනීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මැදිහත් වී සිටී.

රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතරේ හමුව හෙට දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් පවතී. තුර්කිය, නේටෝ සාමාජික රාජ්‍යයක් ද වෙයි. රුසියාව සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වන එකම නේටෝ සාමාජිකයා ලෙස සැලකෙන්නේ ද තුර්කියයි.

‘නෝටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යුද සංවිධානයක් වන අතර, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී මෙම සන්ධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජවවලට මුහුණ දීමේ අරමුණින්ය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ද බටහිර හිතවාදී යුක්රේන රජය, නේටෝ සංවිධානය සමඟ සමීප ලෙස සබඳතා පැවැත්වීමට විරෝධය පළ කිරීමක් වශයෙනි. යුක්රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටී. මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

තුර්කිය බලා පිටත් වීමට පෙර, යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුලේබා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ සාකච්ඡා පැවැත්විණි. ඒ, යුක්රේන පෝලන්ත දේශසීමාවේදීය.

එම අවස්ථාවේදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ රුසියාව පරදා යුද්ධය ජය ගැනීමේ හැකියාව යුක්රේනය සතුව පවතින බවය.

(රොයිටර්)


RECOMMEND POSTS