නව විකෘතියක් ඊශ්‍රායලයෙන්



නව ‘කොවිඩ් 19’ විකෘතියක් හමුවී ඇතැයි ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය මෙම නව විකෘතිය සම්බන්ධයෙන් ඔවුන් සැකැසූ වාර්තාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ඊට යොමු වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මෙම නව විකෘතිය මීට පෙර ලොව කිසිම තැනකින් හමුවී නැතැයි ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි. නව විකෘතියට අදාල පර්යේෂණ දත්ත සහ වාර්තා තමන්ට ලැබී ඇති බවත් තමන් ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, මෙම නව ‘කොවිඩ් 19’ විකෘතිය නිර්මාණය වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙනි. එම අනු ප්‍රභේද දෙක ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ වන අතර, මෙම අනුප්‍රභේද දෙකම ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන, සංකූලතා ඇති කරන ප්‍රභේද ලෙස හඳුනාගෙන තිබේ.

නව කොරෝනා විකෘතිය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඔවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවන බව පැවැසෙයි. එම දෙදෙනා ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට පැමිණි ගුවන් මගීන්ය.

ගුවන් තොටුපොළේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී දෙදෙනා ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. ඔවුන්ට ආසාදනය වී ඇත්තේ නව ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයක් යැයි අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් ලබා ගත් සාම්පල වැඩි දුර පරීක්ෂා කිරීමේදීය.

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් එය පාලනය කර ගනිමින්, සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. පළමුවෙන් තෙවැනි එන්නත් මාත්‍රාවක් මෙන්ම සිවුවැනි එන්නත් මාත්‍රාවක් තම රට වැසියන්ට ලබා දුන් පළමු රට ලෙස සැලකෙන්නේ ද ඊශ්‍රායලයයි. ඊශ්‍රායලයේ ජනගහනය මිලියන 9.2 ක් වන අතර එයින් මිලියන 4 ක් පූර්ණ එන්නත්කරණයකට ලක් වී අවසන්ය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS