ඩුබායි ජලයෙන් යටවෙයි



නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඕමානය බැටකයි. ඊයේ (16) වනවිට එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නගරයේ ස්ථාන බොහොමයක් ජලයෙන් යට විය. කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, මේ අයුරින් එමිරේට්ස් රාජ්‍යයට මහ වැසි ඇද හැලුණේ වසර 75 කට පසුව බවය.

ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇත. ගුවන් තොටුපොළ කටයුතු ද පැය කීපයකට අඩපණ විය. ඩුබායි බලා පැමිණෙන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට බලධාරීන්ට සිදුවිය.

අතරමං වුණු මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයේ පියවර ගත්තේය.

ඩුබායි යෑමට සූදානම් වූ මගීන් ඩුබායි යෑමට නොහැකිව ජෙබෙල් අලි ගුවන් තොටුපොළේ රැදී සිටින අයුරු

ඩුබායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසර කරමින් සිට පසුව වෙනත් ගුවන්තොටුපොළවලට ගොඩබෑ බව ද වාර්තා වේ. දහස් ගණනක් මගීන් පැය ගණනක් ගුවන්තොටුපොළවපල සිරවී සිටි බව ද විදෙස් මාධ්‍ය පවසයි.

ගුවන් තොටුපොළ බලධාරීන් ගුවන්තොටුපොළේ සිරවුණු මගීන්ට ආහාර ලබා දීමට කටයුතු කළත්, ප්‍රමාණවත් ලෙස ආහාර බෙදා දීම සිදු නොවුණු බැවින්, මගීන් තවත් අපහසුතාවට පත්වුණු බව ද පැවැසෙයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට මහ වැසි ඇද හැලීමට පෙර, අයපත් කාලගුණයෙන් ඕමානය බැට කන්න වූයේ පසුගිය සති අන්තයේය. නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන්, ඕමානයේ ආපදා තත්ත්වයක් නිර්මාණය විය.

ඕමාන හදිසි ආපදා කළමනාකරණ ජාතික කමිටුව, පැවැසුවේ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වුණු ඕමාන වැසියන් මුදා ගැනීමේ කටයුතු දිගටම සිදුවන බවත්, මහ වැසි ඊට බාධාවක් වුණු බවත්ය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඕමානයෙන් මරණ 18 ක් වාර්තා විය. ඕමානයේ සමාද් අෂාන් ප්‍රදේශයේ පාසල් දරුවන් ගමන් කරමින් සිටි බස් රියක් හදිසියේ හටගත් ජල ගැලීම්වලට හසුවී ගසාගෙන යෑමෙන් බස් රියේ සිටි දරුවන් සහ රියදුරා ජීවිතක්ෂයට පත්විය. මියගිය 18 දෙනා අතර එම දරුවන් සහ රියදුරා ද සිටී.

ඕමානයේ හදිසි ආපදා තත්ත්වයක් හටගත්තේ මුසන්දාම්, අල් බුරයිමී, අල් දහිරාහ් සහ අල් දකිල්යා යන ප්‍රදේශවලටය. නිවසේ සිට වැඩ කරන්නැයි රජයේ සේවකයන්ට රජය අවසර දුන්නේය. පාසල් සහ රජයේ ආයතන දැමීය. පෞද්ගලික අංශයට ද නිවාඩු හිමි විය.

ඕමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දින කීපය පුරාවට ද මහ වැසි ඇද හැලෙනු ඇති බවය. ඇද හැලෙන මහ වැසි, හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ද බාධාවක් එල්ල විය.

ඡායාරූප - විනෝදි හංසමාලි
ජෙබෙල් අලි​ ගුවන්තොටුපොළේ සිට


RECOMMEND POSTS