ඊශ්‍රායල අගමැති පුටින් හමුවෙයි



ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. රුසියන් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ලෙස නෆ්තාලි බෙනට්, මොස්කව් අගනුවරට පැමිණියේ පළමු වරටය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මොස්කව් සංචාරයේ අරමුණ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමය. රුසියාවත් යුක්රේනයත් අතරේ යුදමය තත්ත්වයක් ආරම්භ වීමෙන් පසු රුසියාවට පැමිණ රුසියානු ජනාධිපති මුහුණට මුහුණ හමුවුණු පළමු රාජ්‍ය නායකයා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සැලකිය හැකි යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදය කඩිනමින් විසඳා ගැනීම කළ යුතු බවත් යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියන් ජනාධිපතිගෙන් ඉල්ලීමක් ද කළේය.

ජනාධිපති පුටින් හමුවීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී දුරකතනයෙන් සම්බන්ධ කර ගත් බව ද පැවැසෙයි. පුටින් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ජර්මනියේ බර්ලීන් අගනුවර බලා ගියේ ජර්මන් චාන්සල් ඕලාෆ් චොල්ස් හමුවීමටය. රුසියන් ජනාධිපති පුටින් හමුවීමට මොස්කව් යෑමට පෙර, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ ද දුරකතනයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS