ඉරානයේ පස්වැනි කොරෝනා රැල්ලක්



ඉරානයේ පස්වැනි කොරෝනා රැල්ල මේ වනවිට ආරම්භ වී ඇති බවත්, පස්වැනි රැල්ලට හේතුව 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදය බවත්  සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

'කොවිඩ් 19' වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඉරාන ජනාධිපති හසන් රොව්හානී ජාතිය අමතමින් කියා සිටියේ, පස්වැනි කොරෝනා රැල්ල ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අංශ තමන් දැනුවත් කළ බවත්, එයින් ආරක්ෂා වීමට නම්, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම දිගටම කටයුතු කළ යුතු බවත්ය.

'ඩෙල්ටා' යනු විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරස ප්‍රභේදයකි. මෙය පළමුවෙන් ම හඳුනාගත්තේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හිටිහැටියේ වැඩිවූයේ මෙම 'ඩෙල්ටා' විකෘතිය නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වනවිට ලොව ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට 'ඩෙල්ටා' පත්වී අවසන්ය. අද (4) වනවිට 'ඩෙල්ටා' ප්‍රභේදය රටවල් 98 කට ව්‍යාප්තවී ඇති බව ද වාර්තා විය.

මැදපෙරදිග කලාපයේ දරුණු ලෙස 'කොවිඩ් 19' වයිරස වසංගතයෙන් බැටකන්නේ ඉරානයයි. ඉරානය වයිරස වසංගතයට මුහුණ දෙන්නේ, ඇමෙරිකාව පනවා ඇති සම්බාධක මධ්‍යයේය. ඉරාන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිල වාර්තා අනුව මේ වනවිට 'කොවිඩ් 19' වසංගතයට බිලි වූ ගණන 85,000 කි. මිලියන 83 ක් වාසය කරන ඉරානයේ මිලියන 3 කට වඩා ආසාදිතයන් වාර්තා වී ඇත.

ඉරානයේ ප්‍රාන්ත 92 ක් ඉතාමත් අවදානම් කලාප ලෙස නම් කර ඇත්තේ වයිරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බැවිනි. තෙහෙරාන් අගනුවර ද මෙම රතු කලාපයට අයත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. තෙහෙරාන් අගනුවර අයත් තෙහෙරාන් පළාතේ පමණක් මිලියන 12 ක් වාසය කරති. ඉරානයේ දෙවැනි විශාලතම පළාත වන්නේ සිස්ටන් බලුකිස්තානයයි. මෙම පළාතෙන් දිනකට ආසාදිතයන් 1,200 කට වඩා වැඩි ගණනක් වාර්තා වෙයි. සිස්ටන් බලුකිස්තාන පළාතෙන් දිනකට වාර්තා වන මරණ ගණන 20 වැඩි යැයි ද සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වත්මන් ඉරාන ජනාධිපති හසන් රොව්හානීගේ ධුර කාලය එලැඹෙන අගෝස්තුවේ අවසන් වෙයි. නව ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ඊබ්‍රහීම් රෙයිසි ඉන් අනතුරුව රාජකාරි ආරම්භ කරනු ඇත. රෙයිසි ජනපති ධුරයට තේරී පත් වූයේ පසුගිය ජූනි 18 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS