ජනතා මුදලින් කාලා බීලා: ඊශ්‍රායල අගමැතිට චෝදනා



ආහාර පාන සඳහා ජනතා මුදල් යොදාගත් බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ට චෝදනා එල්ල වී තිබේ.

නව සභාග රජයක් පිහිටුවමින් නෆ්තාලි බෙනට්, ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගිය 2021 ජූනි මාසයේය.

නෆ්තාලි බෙනට් දේශපාලනඥයකු පමණක් නොව, ව්‍යාපාරිකයකු මෙන්ම බිලියනපතියකු ද වෙයි. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු බෙනට් අග්‍රාමාත්‍ය නිල නිවස ලෙස භාවිත කරන්නේ ටෙල් අවීව් නුවර පිහිටි සිය පෞද්ගලික නිවසය. ඔහු එසේ කරන්නේ අනවශ්‍ය වියදම් කප්පාදු කරමිණි.

ඊශ්‍රායලයේ 'චැනල් 13' පුවත් නාළිකාව අනාවරණය කර ඇත්තේ අග්‍රාමාත්‍ය බෙනට් සහ පවුලේ සාමාජිකයන් ආහාර පාන සඳහා දිනකට වැය කරන මුදල ඇමෙරිකන් ඩොලර් 7,400 ක් බවය.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය බෙනට් පවසා ඇත්තේ, තමන් කිසිදු ආකාරයකින් ජනතා මුදල් අවභාවිතයට ලක් කර නැති බවත්, තමන් ආහාර සඳහාත් තම වියදම් සඳහාත් යොදා ගත්තේ තමන්ට හිමිවන මුදල් පමණක් බවත්ය.

කෙසේ නමුත් දෛනිකව ආහාර පාන සඳහා තමන් වියදම් කළැයි පැවැසෙන ඇමෙරිකන් ඩොලර් 7,400 ක මුදල තමන් ආපසු ගෙවීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

'අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පසු මා අනවශ්‍ය වියදම් සියල්ල කපා දමා තිබෙනවා. මාගේ පවුලේ 6 දෙනකු සිටිනවා. අපට කෝකියකු නැහැ. අප අවන්හල්වලින් කෑම මිලදී ගන්නේ නැහැ. අප නිවසේ කෑම පිළියෙළ කර ගන්නවා. මට එල්ල වන චෝදනා දේශපාලනික මඩ ගැසීමක් පමණයි' යැයි සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය බෙනට් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS