භූමි කම්පාවලින් මියගිය ගණන 4,600 ට නගී



තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 4,600 පසු කළේය. තුවාල ලැබූ ගණන 15,000 ඉක්මවා තිබේ. විදෙස් මාධ්‍ය පැවැසුවේ, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

තුර්කිය සහ සිරියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූ කම්පන හට ගැනීම ස්වභාවිකය. භූ කම්පනයක් යනු භූ තැටි දෙකක් එකමත එක චලනය වීමය.

මේ වනවිට තුර්කිය සහ සිරියාව ප්‍රධාන භූමි කම්පා දෙකකින් සහ අතුරු භූමි කම්පා කීපයකින් බැට කෑවේය. අතුරු භූමි කම්පාවලින් බලපෑම් එල්ල වූයේ තුර්කියට පමණක් බව පැවැසිණි.

පළමු ප්‍රබල භූමිකම්පාව හටගත්තේ පසුගිය පස් වැනිදා තුර්කි වේලාවෙන් අලුයම 4.17 ටය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් සටහන් කළේය. දෙවැනි ප්‍රබල භූමි කම්පාව හටගත්තේ ඊයේ (6) තුර්කි වේලාවෙන් දහවල් 1.24 ටය.

තුර්කියේ දින 7 ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කටයුතු කළේය. ලබන 13 වැනිදා තෙක් පාසල් වසා දැමුණි. භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වුණු වැසියන් දැඩි සීත කාලගුණයකින් පීඩා විඳින බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS