සල්මාන් කුමරු හමුවීමේ අදහසක් නෑ



සෞදියේ නිල සංචාරයකට සහභාගී වන නමුත්, ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් හමුවීමේ කිසිදු අදහසක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, සෞදියේ නිල නොවන පාලකයා ලෙස කටයුතු කරන්නේ සල්මාන් කුමරුන්ය. සෞදියේ නිල සංචාරයකට යන ජනාධිපති ජෝ බයිඩන්, සල්මන් කුමරුන් හමු නොවී සිටින්නේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දී තිබේ.

බයිඩන්ගේ සෞදි සංචාරය ආරම්භ වනු ඇත්තේ ලබන ජූලි මාසයේය. සෞදියේ පමණක් නොව, බයිඩන් ඊශ්‍රායලයේ ද පලස්තීනුවන් පදිංචි බටහිර ඉවුරේ ද සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, ජූලි 13 සිට 16 තෙක් කාලයේය.

බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මැදපෙරදිග සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය යැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනාධිපති බයිඩන්, සෞදිය බලා යන්නේ සෞදියේ පැවැත්වෙන ගල්ෆ් සහයෝගිතා සමුළුවට සහභාගී වීමටය. එම සමුළුවට සල්මාන් කුමරුන් ද සහභාගී වනු ඇත.

බයිඩන්ට පෙර ඇමෙරිකන් ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. සෞදි මාධ්‍යවේදී, ජමාල් කශොග්ජී කුරිරු ලෙස ඝාතනය වූයේ ට්‍රම්ප් පරිපාලනය පැවැති අවදියේය. එම ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේ බව තහවුරු විය.

කශොග්ජීගේ ඝාතනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවට සල්මාන් කුමරුන් සමඟ හෝ සෞදිය සමඟ හෝ අමනාප වීමට නොහැකි යැයි ට්‍රම්ප් ජනාධිපති ලෙස එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

ඝාතනයට ලක් වෙද්දී, සල්මාන් කුමරුන්ගේ 'උදහසට' ලක් වී සිටි කශොග්ජී, ඇමෙරිකාවේ පදිංජචිව සිටි අතර, ඔහු ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ තීරු ලිපි රචකයෙකු විය.

කශොග්ජී සිය පෙම්වතිය සමඟ විවාහ වීමේ අරමුණින්, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගියේ පළමු විවාහය සහ දික්කසාදවීම සම්බන්ධයෙන් ලියවිලිවලට අත්සන් කිරීමටය‍.

කොන්සල් කාර්යාලයට ගිය කශොග්ජී යළි දකින්න නොලැබුණි. සෞදි සල්මාන් කුමරුන්ගේ උපදෙස් පරිදි, කශොග්ජී ඝාතනය කෙරුණේ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන ආකාරයටය. තුර්කි ආරක්ෂක අංශ පැවැසුවේ, විෂ රසායනයක් භාවිතයට ගනිමින්, ඝාතන කණ්ඩායම කශොග්ජීගේ සිරුර විනාශ කරන්න ඇති බවය.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් සෞදියට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. තමන් සෞදි කුමරුන් හමු නොවනු ඇතැයි බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ ද මෙම විරෝධය හේතුවෙනි.

(රොයිටර්)‍


RECOMMEND POSTS