තුර්කියට ශ්‍රී ලංකාවෙන් හමුදා බලඇණියක්



භූ කම්පනයන් හේතුවෙන් ඇතිවූ විපත්වලින් පීඩාවට පත්ව සිටින තුර්කි ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් කඩිනමින් එරටට යැවීමට රජය තීරණය කර ඇත.

විපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (9) පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමටත් එහිදී සැලසුම් කර ඇති අතර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ මොහොතේ තුර්කි ජනතාවට ලබාදිය හැකි අත්‍යවශ්‍ය මූලික පහසුකම් හා ශ්‍රම දායකත්වය පිළිබඳවම මෙන්ම සිරියාව සඳහා වූ මානුෂීය ආධාර ලෙබනනය හරහා ලබාදීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍යංශ ලේකම්වරු, සභාපති වරු, පෞද්ගලික ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS