තුරිකිය සිරියාව හැඬවූ භූමිකම්පාව



තුර්කිය සහ සිරියාව යනු අසල්වැසි රටවල්ය. තුර්කිය අද නිල වශයෙන් හැඳින්වෙන්නේ තුර්කිය Turkey යනුවෙන් නොව, තුර්කියේ Türkiye යන නිල නාමයෙනි. තුර්කිය සහ සිරියාව පමණක්, අසල්වැසි රටවල් වන ඇෆ්ගනිස්තානය, ඉරානය ආදී රටවල් ද පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට Tectonic Plate ඉහළිනි. සිරියාව සහ තුර්කිය පිහිටා ඇත්තේ ඇනලෝටියන් Anatolian භූ තැටි මායිමට ඉහළිනි.

භූමි කම්පාවක් යනු ස්වභාවික සංසිද්ධියකි. භූමි කම්පා සෑම තැනකට හට ගන්නේ නැත. පාථිවිඅභ්‍යන්තරය නිර්මාණය වී ඇත්තේ, ස්තර කීපයකිනි. පෘථිවිය මතුපිට කලාපය, පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය යනුවෙන් හැඳින්වෙයි. මෙම කලාපය, එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි එසේත් නැතිනම් භූ තැටි වලින් නිර්මාණය වී තිබේ. ශිලා ගෝලයට යටින් ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි  ප්‍රාවරණ මතුපිට අති විශාල ලවණ සාගරයක් පවතී.‍ මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවතී. සාමාන්‍යයෙන් වසරකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවල‍ට පාවෙයි. මෙලෙස පාවෙමින් පවතින පාෂාණ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තිය භූමි කම්පාවක් ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් භූ තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භූමි කම්පා නිර්මාණය වෙයි.

5 වැනිදා රාත්‍රියේ තුර්කියේ සහ සිරියාවේ වැසියන් නින්දට ගියේ පැහැබර උදෑසනක් අපේක්ෂාවෙනි. එහෙත්, බොහෝ දෙනකුට උදෑසන අරුණළු දැකීමට නොහැකි විය. ඒ, බිහිසුණු ප්‍රබල භූමි කම්පාවකින් තුර්කියත් සිරියාවත් දෙදරා යෑමත් සමඟය. භූමි කම්පාව හටගත්තේ තුර්කියේ වේලාවෙන් අලුයම 4.17 ටය. රික්ටර් මාපකයේ 7.8 ක් සටහන් කළේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ ගිණිකොණදිග තුර්කියේ ගාසියැන්ටෙප් නගරයට උතුරින්, තුර්කි සිරියානු දේශසීමාවේ සිට කිලෝ මීටර් 90 ක් දුරිනි. භූමි කම්පාවේ ප්‍රබලත්වය ඊජිප්තුවේ කයිරෝ අගනුවරටත් දැනෙන්න විය.

සිවිල් යුද්ධයෙන් පසු සිරියාව දෙකඩ වී ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ පාලනයට නතු පාලන ප්‍රදේශ සහ බටහිර රටවල් නිල වශයෙන් පිළිගන්නා සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් යටතේ පවතින පාලන ප්‍රදේශ ආදී වශයෙනි. භූමි කම්පාවෙන් දෙදරා ගියේ විපක්ෂයේ පාලනය යටතේ පවතින ඇලෙප්පෝ නගරය අයත් ඇලෙප්පෝ පළාත, ලටාකියා පළාත, හාමා පළාත සහ ටාර්ටුස් පළාතය.

භූමි කම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ නිවාස බිමට සමතලා වූයේ ඒවා තුළ නිදා සිටි වැසියන් ද යට කර ගනිමිනි. තුර්කි රජය පසුව පැවැසුවේ එරට නිවාස සහ ගොඩනැගිලි 5,606 ක් මුළුමනින්ම බිමට සමතලා වුණු බවය. අද (7) වනවිට තුර්කි රජය පැවැසුවේ එරට මියගිය ගණන 2,379 ඉක්මවා ඇති බවය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන හරහාත්, රතු කුරුස සංවිධානය හරහාත් නිවේදනය කළේ එරට 1,444 කට වඩා වැඩි දෙනෙක් මියගිය බවය. ඒ අනුව දෙරටින් 6,217 කට ආසන්න පිරිසක් මියගිය බව පැවැසිණි.

තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු භූමි කම්පාවට බිලිවුණු බව තුර්කියේ සිටින ශ්‍රී ලංකා තානාපතිනිය හසන්ති දිසානායක මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. භූමි කම්පාවලින් තුර්කියේ තුවාල ලැබූ ගණන 15,000 ඉක්මවීය. භූමි කම්පාවලින් සිරියාවේ 3,411 දෙනකු තුවාල ලබා ඇති බවත් වෛද්‍ය පහසුකම් නොමැති බැවින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ගැටලුවක් වී ඇති බවත් පැවැසෙයි. මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවත්, එය 10,000 පසු කරනු ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

අලුයම 4.17 ට හටගත් ඒ ප්‍රබල භූමි කම්පාවෙන් පසු, රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 6 ඉක්මවූ අතුරු භූමි කම්පා දෙකක් හටගත්තේ විපතට පත්වුණු වැසියන් භීතියට පත් කරමිනි. මාපියන් අහිමි දරුවන් විලාප දෙද්දී, නිවාසවල සුන්බුන් යට සිරවුණු දරුවන් මුදා ගැනීම ලහිලහියේ සිදුවිය. භූමි කම්පාවෙන් බැට කෑ වැසියෝ, අතින් පස් හාරමින්, සුන්බුන් ඉවත් කරමින් විපතට පත්වූවන් සොයන්න වූහ. දැඩි සීත කාලගුණය, හිම පතනය සහ වැස්ස දෙරටේම දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් විය.

අලුයම 4.17 ට හටගත් ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් පීඩාවට පත් වුණු වැසියන් සුන්බුන් අතරින් ඒවා තුළ සිරවුණු පිරිස් මුදා ගනිමිනි සිටිද්දී නොසිතූ දෙයක් සිදුවිය. ඒ, තවත් අලුත් භූමි කම්පාවක් හට ගැනීමටය. රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ මෙම දෙවැනි භූමි කම්පාව, තුර්කිය සහ සිරියාව කලඹවින් හටගත්තේ සවස 1.24 ​ටය. පළමු භූමි කම්පාවෙන් දෙදරා ඉරිතලා ගිය නිවාස සහ ගොඩනැගිලි බොහොමයක් බිමට සමතලා කළේ මෙම භූමි කම්පාව නිසාය. මෙම දෙවැනි භූමි කම්පාව හටත්තේ ගිණිකොණ දෙසින් පිහිටි එකනෝසු නමැති නගරයට නුදුරිනි.

විපතට පත්වූවන්ට කඩිනමින් සහාය දීමටත් සුන්බුන් අතරේ සිරවුණු පිරිසට ආධාර කිරීමටත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් බලධාරීන්ට උපදෙස් දුන්නේය. සහන සේවා සඳහා හමුදාව යෙදවිණි. දින 7 ක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරුණි. සියලු පාසල් 13 වැනිදා දක්වා වසා දැමීමට ද කටයුතු කර තිබේ. භූමි කම්පාවලින් තුර්කි නගර 10 කට බලපෑම් එල්ල වී ඇතැයි ද පැවැසිණි. භූමි කම්පාවේ බලපෑම් හේතුවෙන් තුර්කියේ ප්‍රධාන ගුවන්තොටුපොළ 4 ක ගුවන්පථවලට ද හානි සිදුවිය.

​ඒ.එෆ්.පී. ඇසුරිනි

RECOMMEND POSTS