‘ටෝනේඩෝ’ හෙවත් ‘ගොබවලාව’



අපට නුහුරු වුවත්, ‘ටෝනේඩෝ’ හෙවත් ‘ගොබවලාව’ යනු ප්‍රචණඩකාරී අවස්ථාවක මුහුදේ ඇති වන වේගවත් දිය සුළියක ආකාරයට වායුගෝලය තුළ ඇති වන්නකි. අහසේ වලාකුළක සිට පහළට විහිදෙන, කුඩා විෂ්කම්භයක් ඇති සර්පිලාකාරව භ්‍රමණය වන වායු තීරුවක් ලෙස එය  හැඳින්විය හැකිය. මෙය ‘කැරකෙන’ යන අරුත් දෙන ස්පාඤ්ඤ බසෙහි එන වදනකි. ඇමරිකානුවෝ එය ‘ට්විස්ටර්’ කියා හඳුන්වති. මේවා බහුලව හටගන්නේ පෘථිවිගෝලයේ දේශාංශක 20ත් 60ත් අතර කලාපයෙහිය. ‘ටෝනේඩෝ’ වැනි සුළං ප්‍රවාහ ලෝකයේ ඕනෑම තැනක ඇති විය හැකි නමුත්, ඒවා බහුලව හමුවන්නේ උතුරු ඇමරිකාවේය. ‘ටෝනේඩෝ’ සාමාන්‍ය සුළි කුණාටුවලට වඩා බිහිසුණුය.

ටෝනේඩෝවක් මැද ඇත්තේ අඩු පීඩන සලාවකි. මෙම සලාව මගින් අවට වාතය වේගයෙන් ඒ දෙසට ඇද ගනී. එහිදී අවට ඇති සෑම දෙයක් ම ඒ දෙසට ඇදී යයි. ඉන්පසු ඒවා වා සුළියට හසුවී ඇඹරී විනාශ වෙයි. සාමාන්‍යයෙන් ‘ටෝනේඩෝ’ සුළි කුණාටුවක් පවතින්නේ මිනිත්තු කීපයක් වුවත් සතියක් දෙකක් කැරෙකෙමින්, ඊට අසුවන සියල්ල අඹරවමින්. මහා විනාශයක් ඇති කිරීමට ඒ මිනිත්තු කීපය ප්‍රමාණවත්ය. ඒත්, පසුගිය දා ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තය හරහා හමා ගිය ‘ටෝනේඩෝ’ නම් එසේ මෙසේ එකක් නොවෙයි. එය ඉතාමත් බිහිසුණු ටෝනේඩෝවකි. කුඩා නගර දෙකක් මුළුමනින්ම අතුරුදන් කිරීමට එය සමත් විය. එය පැයක කාලයක් තිස්සේ මහා විනාශයක් සිදු කළේ කාලගුණ විද්‍යාඥයන් මවිත කරමිණි.

මිසිසිපි ජනපදය හරහා හමා ගිය ටෝනේඩෝව 23 දෙනකු බිලි විය. ටෝනේඩෝව කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 120 ක පමණ වේගයකිනි. සුන්බුන් පමණක් ඉතිරි කරමින් අතුරුදන් වූයේ සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගරය. නිවාස, ගොඩනැගිලි, වාහන ආදී සියල්ල ටෝනේඩෝවට ගසාගෙන ගියේ හොලිවුඩ් චිත්‍රපටවල දකින්න ලැබෙන ආකාරයෙනි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නගර තිබුණු ස්ථානය පවා සොයා ගැනීමට නොහැකි බවය.

ටෝනේඩෝ සුළි කුණාටුවෙන් ෂාර්කි, හම්ප්‍රීස් ප්‍රාන්තවලට ද හානි සිදුවිය. විදුලිය බලය ද එම ප්‍රාන්තවලට අහිමි විය. 75,000 කට වැඩි පිරිසක් විදුලිය බලය නොමැතිව පීඩාවට පත් වූහ.  ටෝනේඩෝවෙන් සිදුවුණු විනාශය දැක ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා කම්පා විය. විපතට පත්වූවන්ට කඩිනමින් සහාය ලබා දීමට බයිඩන් උපදෙස් දී දුන්නේය. ‘මිසිසිපි වැසියන් මුහුණ දුන් ව්‍යසනය දැක මා කම්පනයට පත්වුණා. පුළුවන් උපරිමයෙන් අපි උදවු කරනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නිකුත් කළ නිවේදනයක දැක්විණි.

පසුගිය මාර්තු 9 වැනිදා ද ටෝනේඩෝ සුළි කුණාටු රැසක්, ඇමෙරිකාවේ ජනපද පහක් කැලැඹුවේය. එම අවස්ථාවේ 100 දෙනකු මියගිය බව පැවැසිණි.  නිවාස දහස් ගණනක් මුළුමනින්ම විනාශ විය. ඇමෙරිකන් කාලගණ විද්‍යාඥයන්ට අනුව, මේ අයුරින් ටෝනේඩෝ පොකුරක් ඇමෙරිකාවට කඩා වැදුණේ, වසර 130 කට පසුවය. කෙන්ටුකි ප්‍රාන්තය හරහා ඇදී ගිය එම ටෝනේඩෝ සුළි කුණාටුවල වේගය පැයට සැතපුම් 227 කි.

සුළි සුළඟක් වර්ධනය වීම අදියර කීපයකින් සිදුවෙයි. අඩු පීඩනය පළමු අදියරයි. එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර 35 කට වඩා අඩුය. මෙහිදී සිදුවන හානිය ඉතා අඩුයි. දෙවැනි අදියර පීඩන අවපාතයයි. මෙහිදී සුළ‍ඟ‍ෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර 35-65  පමණ යැයි පැවැසෙයි. මෙමඟින් නිවාසවලට සුළු හානි සිදුවෙයි. වගා හානි සිදුවෙයි.

තුන්වන අවධිය සුළි කුණාටුය. සුළ‍ඟේ උපරිම වේගය පැයට කිලෝමීටර 65–125 අතරය. නිවාස වලට තරමක හානියක් ඇති කරන අතර විදුලි පද්ධතියට ද හානි සිදු කරයි. හතර වන අවධිය සුළි සුළං වන අතර එහිදී පැයට කිලෝමීටර 125 ය වඩා වැඩි වූ සුළං වේගයක් දැකිය හැකිය. නිවාසවලට තදබල හානි ඇති කරයි‍. විදුලි පද්ධතිවලට හානි සිදුවෙයි.
 
රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS